Skip links

මහජන සුබසිද්ධිය ප්‍රමුඛ වූ, අපරාධයන්ගෙන් බැහැර වූ දේපල පිලිබඳ නීතියක්

අපරාධයන්ගෙන් උපයාගත් දේපල පිලිබඳ නීතිමය රාමුව පිළිබඳව විශ්ලේෂණාත්මක වාර්තාවක් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් පසුගිය දා නිකුත් කරනු ලැබීය. මෙම විශ්ලේෂණාත්මක වාර්තාව “අපරාධවලින් උපයාගත් දේපළ සම්බන්ධ ශ්‍රී ලංකාවේ යෝජිත නෛතික සහ ප්‍රතිපත්ති රාමුව පිලිබඳ විග්‍රහය ” මැයෙන් සකස් කෙරුනේ, මෑතකදී කෙටුම්පත් කරන ලද යෝජිත අපරාධයන්ගෙන් ව්‍යුත්පන්න වූ දේපල පිලිබඳ පනතෙහි ප්‍රතිපත්තිමය හා නීතිමය රාමුව සඳහා විශ්ලේෂණාත්මක වාර්තාවක් වශයෙනි.

ශ්‍රී ලංකාවේ 2015 වර්ෂයේදී අපරාධයන්ගෙන් රටට අහිමි වන දේපළ පිළිබඳව විමර්ශනය කිරීමට,හඳුනා ගැනීමට,අනාවරණය කිරීමට, අත්පත් කර ගැනීමට,හා රටින් බැහැර කරන ලද එවැනි දේපළ  නැවත ශ්‍රී ලංකාවට ලබා ගැනීමට “වත්කම් නැවත ලබා ගැනීමේ විශේෂ ජනාධිපති කාර්යය සාධක බලකායක් (START) පිහිටුවනු ලැබීය. මෙම ආයතනය යටතේ “අපරාධයන්ගෙන් උපයාගත් දේපල සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය රාමුවක්” කෙටුම්පත් කිරීම සඳහා, අල්ලස් හා දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙහි, මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයෙහි,මුල්‍ය බුද්ධි ඒකකයෙහි,විදේශ කටයුතු අමාත්‍යංශයෙහි,නීතිපති දෙපර්තුමේන්තුවෙහි, ශ්‍රී ලංකා නිතිඥ සංගමයෙහි සහ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයෙහි සාමාජිකයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරන ලදී.

විශ්ලේෂණාත්මක වාර්තාව සැකසීමට කෙටුම්පත් කමිටුවේ සාමාජිකයෙකු වශයෙන් ලබා ගන්නා ලද අත්දැකීම් මෙන්ම TISL ආයතනය විසින් සිදු කරන ලද පර්යේෂණ වල අනුසාරයද උපයෝගී කොටගෙන ඇත.

අපරාධයන්ගෙන් උපයාගත් දේපළ පිළිබඳව නෛතික රාමුව තුලින් අරමුණු කරනුයේ අපරාධයන් මගින් රටකට අහිමිවන වත්කම් හඳුනාගැනීම,රාජසන්තක කිරීම, එම වත්කම් නැවත රට තුළට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලියයි. කෙසේ වුවද මේ වන තෙක්, අපරාධයන් හරහා උපයාගත්,විදේශයන්හි සඟවා තැබෙන දේපළ රාජසන්තක කර නැවත ලබා ගැනීමේ නිසි නීතිමය රාමුවක් ශ්‍රී ලංකාව තුළ නැත.වත්කම් නැවත ලබා ගැනීමේ විශේෂ ජනාධිපති කාර්යය සාධක බලකාය යටතේ පත් කරන ලද කමිටුව මගින් අදාළ ප්‍රතිපත්ති හා නීතිමය රාමුව කෙටුම්පත් කරන්නේ මෙවන් පසුබිමක් තුලදීය.

TISL ආයතනය මගින් සම්පාදනය කරන ලද විශ්ලේෂණාත්මක වාර්තාව තුලින්,අපරාධයන්ගෙන් උපාය ගන්නා දේපල රාජසන්තක කිරීමේ නිතිය පිළිබඳව ද සලකා බැලෙන අතර අපරාධ මගින් රටට අහිමි වන දේපළ නැවත ලබා ගැනීමට නීතිමය ප්‍රතිපාදන නොමැතිවීමේ දුර්වලතාවය පිළිබඳවද අවධාරණය කර ඇත.  එවැනි නීතියක් ගෙන එන්නේ නම්, එය වඩාත් ශක්තිමත් නීතියක් බවට පත් කිරීමට අවශ්‍ය යෝජනා කිහිපයක්ම මෙම විග්‍රහය තුළ ඉදිරිපත් කර ඇත.දැඩි විනිවිදබාවයකින්, වගවීමෙන් හා වගකීමෙන් යුතු, වත්කම් අයකර ගැනීමේ ක්‍රියාවලියක් සඳහා මෙම යෝජිත නිතිය පහත ප්‍රතිපත්ති වලින් සමන්විත විය යුතු බව ද TISL ආයතනය යෝජනා කරයි.

TISL ආයතනය යෝජනා කරනු ලබන්නේ, මෙම නිතිය, තොරතුරු දැනගැනීමේ පනත සමග සම්බන්ධ කිරීම,අධිකාරියෙහි සහ අරමුදල් භාර මණ්ඩලයෙහි සිවිල් සමාජ නියෝජනය තහවුරු කිරීම,අයකරගනු ලබන වත්කම් තිරසාර සංවර්ධන ඉලක්ක අරමුණු කරගනිමින් පොදු දේපළ සංවර්ධනයට යොදා ගැනීම,අරමුදල් ගිණුම් ජාතික විගණන කාර්යාලය හරහා විගණනය කිරීම්,විගණන වාර්තා මහජන දැනගැනීම පිණිස ප්‍රසිද්ධියට පත් කිරීම හා පාර්ලිමේන්තුවෙහි සභාගත කිරීම,අරමුදල් කළමනාකරණය හා පරිපාලනය මහජන පරික්ෂාවට ඉඩ සැලසීම හා විනිවිදබවයකින් යුක්ත වීම,අවශ්‍යතාවය,සමනුපාතිකත්වය සහ මහජන සුබසිද්ධිය යන මුලධර්ම, යෝජිත නිතිය බලාත්මක කිරීමේ සහ අර්ථ නිරුපනය කිරීමේ මාර්ගෝපදේශ ලෙස පිළිගන්නා බවට සහතික වීම යන කාරනා වේ.

උක්ත යෝජිත කරුණු සලකා බැලීමේදී පැහැදිලිවම පෙනී යන්නේ මෙවැනි බරපතල නිතියක ශක්තිමත්බාවය රඳා පැවතීමට නම්,විනිවිදභාවය,වගවීම හා මහජන සහභාගිත්වය යන මුලධර්මයන් එය ක්‍රියාත්මක කිරීමේදී අත්‍යවශ්‍යයෙන් තිබිය යුතු බවයි.

Leave a comment

This website uses cookies to improve your web experience.