Skip links

සංජීව ප්‍රසාද්ට සිදුව ඇති අසාධාරණයට වසර දහයකි

දිනී ජයසේකර

ඔහු සංජීව ප්‍රසාද්. වයස අවුරුදු හතලිස් නවයකි. මීට වසර දහයකට ප්‍රථම සංවර්ධන නිලධාරියෙකු ලෙස කටයුතු කර ඇත. ඔහු තම රාජකාරී කටයුතු කරමින් සිටින අතරතුරදී 2011/06/01 දින එවකට කටාන ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් ඔහුට ලිපියක් එවා පවසා ඇත්තෙ “ සංජීව ප්‍රසාද් සේවය හැරගියා සේ සළකන බැවින් නැවත සේවයට වාර්ථා නොකරන ලෙසයි.” සංජීවගේ සංවර්ධන නිලධාරී සේවා කාලය ඔහුගෙන් එසේ ගලවා දැමුවේ කිසිදු පදනමකින් තොරවය. මන්ද සංජීව තම නිර්දෝෂී බව සදහා ඉදිරිපත් කළ කරුණු ද ප්‍රාදේශීය ලේකම් වරයා නොසලකා හරිමින් සංජීවගේ පුරප්පාඩුව වෙන කෙනකුගෙන් සම්පූර්ණ කිරීය.

දරුවන් දෙදෙනෙකුගෙන් සැදුම් ලද ඔහුගේ පවුල් සංස්ථාව රැකියාව අහිමි වීමෙන් පසුව ගෙවී ගිය ආකාරය ඔහුගේ වචන වලින් මේසේය.

“ මගේ පවුලෙ දරුවන් දෙදෙනයි බිරිදයි තාත්තයි මමයි. මේ සේරම කට්ටියව මම තමයි බලාගත්තේ. මම මුලින් දිවුලපිටියෙ සමෘද්ධි නිලධාරියෙක් විදියට වැඩ කරලයි මාරුව හදාන කටානට ආවේ. කටානෙ මට වැඩි කාලයක් ඉන්න ලැබුනේ නැහැ. මගේ දරුවන්ව මම පාසල් යැව්වෙ , කන්න බොන්න දුන්නෙ ඔය රස්සාවෙන්. අවසානෙදි රස්සාව අහිමි වුනාම හදිස්සියට රස්සාවක් හොයාගන්න බැරි නිසා කුලී රස්සා කරල තමයි දරුවන්ට කන්න දෙන්න වුනේ. ඉතින් තවමත් මම කුලී රස්සා කරමින් ජීවිතය ගෙවනවා. ” කුලී රස්සා කරමින් තම දෛනික ජීවිතය ගැටගසාගන්නෙකු බව සංජීව අපට පවසද්දී ඔහුගේ දෑස් කදුලින් බරව තිබූ ආකාරය අපට මතකය.

2001සැප්තැම්බර් 05 වනදා දින සිට ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරියේ සමෘද්ධි සංවර්ධන න්‍යාමක ලෙස සංජීවට පත්වීම ලැබුනේ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටය. මෙය ඔහුගේ පළමු රැකියාව විය. පසුව ඔහු කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ස්ථාන මාරුවක් ලබා ගන්නේ 2011 වර්ෂයේය. ඉන් පසුව ඔහුගේ රැකියාවට විටින් විට කනකොකා හඩන්නට ගත් බව ඔහු අප සමග පැවසීය.

“ මට විටින් විට ප්‍රශ්න එන්න ගත්තා කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ආවට පස්සේ. එහෙම තියෙද්දි එක දවසක් 2011 ජුනි 01 වෙනිදා මගේ දුව අසනීප වුනා නිසා මට යන්න බැරි වුනා. මම දුරකථනයෙන් සමෘද්ධි අංශයේ කළමණාකරන අංශයේ නිලධාරියෙක්ට කාරනාව පැහැදිලි කරලා නිවාඩුවක් දාගත්තා. නමුත් 2011 ජුනි 02 වෙනිදා මට කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලේඛම් එච්.ආර්.කිරිඇල්ලගෙන් ලිපියක් ආවා නැවත සේවයට පැමිණීමට අවශ්‍යය නැහැ කියලා. ”  සංජීවගේ හඩ බාල වනවාත් සමග උක්ත ලිපියේ පිටපතක් අප අත තැබීය. එහි සදහන මෙසේය.

“ කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි මහා සංගමයට අනුයුක්තව රාජකාරී කළ බී.සංජීව ප්‍රසාද් වන ඔබ 2011.06.01 දින කිසිදු දැනුම් දීමකින් තොරව සේවයට වාර්ථා කර නැති බව අදාල කළමණාකරු විසින් මා වෙත දන්වා ඇත. එමනිසා ආයතන සංග්‍රහයේ 1 වන කාණ්ඩයේ V වන පරිච්ඡේදයේ 7 වන වගන්තියට අනුව ඉහත නම් සදහන් ඔබ 2011.06.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂකගේ ආවරණ අනුමැතියට යටත්ව සේවය හැර ගියාසේ සලකා කටයුතු කරන බව මෙයින් දන්වමි. ”

උක්ත ලිපිය සම්බන්දව සංජීව ක්‍රියාත්මක වන්නේ ඊට පසුවය. පළමුව ඔහුගේ නිර්දෝෂී බව සදහන් කරමින් අදාල නිලධාරීන්ට ලීවේය. පසුව මීගමු පොලිසියේ පැමිණිල්ලක් ගොනු කළේය. ඊට සිදුවූ දෙය අදටත් ඔහු නොදන්නේය. අවසානයේදී ඔහු මීගමුව කම්කරු විනිශ්චයාධිකරණයේ පැමිණිල්ලක් ගොනු කලේය. 2011 සිට 2017 දක්වා නඩුව දීර්ඝව පැමිණ ඇති නමුත් 2017.02.27 දින වඩුව නිෂ්ප්‍රභා වී ඇත. ඊට හේතුව පැමිණිලි පාර්ශවය සංජීව පසාද් වන අතර නඩුවේ පළවන වගඋත්තරකරු ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය වීමය.

ඇයි නිෂ්ප්‍රභා වුනේ ?

ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය 1995 අංක 30 දරණ සමෘද්ධි සංවර්ධන අධිකාරී පනතට අනුව ස්ථාපිත ආයතනයක් වන අතර වර්ෂ 2013 අංක 01 දරණ දිවිනැගුම පනතේ 44 වන වගන්තිය අනුව වර්ෂ 1995 අංක 30 දරණ සමෘද්ධි සංවර්ධන පනත ඉවත් කර ඇති අතර එකී පනතේ සදහන් සියලු කාර්යයන් දිවිනැගුමේ පනතින් සංස්ථාපිත දිවිනැගුම සංවර්ධන දෙපාර්ථමේන්තුව නම් රාජ්‍ය ආයතනය යටතේ කරනු ලබන කාර්යයන් සේ සළකනු ලබන බවට සදහන් කර ඇත. ඒ අනුව පළවන වගඋත්තරකාර ආයතනය රාජ්‍ය දෙපාර්තමේන්තුවක් ලෙස ස්ථාපිත කර ඇති බව තහවුරු වෙයි.

එසේම වර්ෂ 2013 අංක 01 දරණ පනතේ 44 (ඇ ) ( ඈ ) වගන්ති ප්‍රකාරව දැනට පළවන වගඋත්තරකාර ආයතනයට එරෙහිව පවරා ඇති සියළුම නඩු , රජයට එරෙහිව පවරන නඩු වශයෙන් සලකා කටයුතු කරන නිසාවෙන් නඩුව නිෂ්ප්‍රභා විය. ඒ අනුව කාර්මික ආරවුල් පනතේ ප්‍රතිපාදන අනුව රාජ්‍ය ආයතනයකට එරෙහිව නඩු විභාග කිරීමට උක්ත විනිෂ්චයාධිකරණයට අධිකරණ බලයක් නොමැති බැවින් සංජීවගේ ඉල්ලුම්පත්‍රය නිෂ්ප්‍රභා විය.

ආණ්ඩු මාරුවනවාත් සමග ආණ්ඩු පත් කළ ජනතාවගේ සාධාරණයත් කුණු කූඩයට විසිවන සමාජයක තමාට සිදුවූ අසාධාරණය පිළිබද කතා කිරීමට වේදීකාවක් ඔවුනට නොවීය. සංජීවට අත්ව ඇත්තේද එවැනිම ඉරණමකි. නමුත් අප සිතන්නේ සංජීව ප්‍රසාද් අද කුලී රස්සා කරන්නේ රාජ්‍ය නිළදාරී වාදයේ ප්‍රතිඵලයක් නිසා යන්නය.

2016 අප්‍රේල්

මීගමුව කම්කරු විනිචයාධිකරණයේ නඩුව විභාග කරන අතරතුරා වාරයේදී ජනාධිපති අතිරේක ලේකම් විසින් සංජීව ප්‍රසාද්ට යම් අසාධාරණයක් සිදුව ඇති බව පවසා සමාජ බලගැන්වීම් හා සමාජ සුබසාධන අමාත්‍යංශයේ ලේකම් එම්. සෙනෙවිරත්නට ලිපියක් යවා ඇත. එහි සදහන මෙසේය.

“ පී.එස්.පී ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කර ඇති කරුණු නිරීක්ෂණයේදී බැලූ බැල්මට ඔහුට යම් අසාධාරණයක් වී ඇති බව පෙනී යයි. එමනිසා පහත සදහන් හේතු මත ඔහු නැවත සේවයේ පිහිටුවීම පිළිබදව සලකා බැලීම සුදුසු බව විරීක්ෂණය කරමි. 01.උක්ත ගැටළුව විසදීමට දිවි නැගුම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් මැදිහත් විය යුතු බවට කම්කරු විනිශ්චය සභාවේ සභාපති හා අති.මහේස්ත්‍රාත් ගේ 2014.07..28 දිනැති ලිපිය , 02.2011.05.31 සෙවයට වාර්තා කර ඇති බව පෙන්නුම් කරන පැමිණීමේ ලේඛන උදෘතය , 03.2011.06.02 සේවයට වාර්තා කිරීමට ඉඩ නොදුන් බවට මීගමුව පොලිසියේ CIB (2)317/41 ලේඛනය , මේ සම්බන්දව ඔබ විසින් ගනු ලබන ක්‍රියාමාර්ගයන් පිළිබදව ප්‍රනාන්දු මහතාව දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ” ලෙස දක්වා තිබුණි.

කෙසේ නමුත් සංජීවට ඔවුන්ගෙන් කිසිදු පිළිතුරක් නොවීය. වසර දහයක් පුරාවට ඔහුගේ සාධාරණය වෙනුවෙන් හැකි හැම ආකාරයේ ක්‍රියා පිළිවෙතක්ම ගත්තේය. නමුත් සංජීවට එකී කිසිවෙක් සාධාරණය ඉටු කිරීමට පොහොසත් නොවූහ. අවසානයේදී සංජීව 2011 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා වසර දහයකට ආසන්න කාලයක් පුරාවට සාධාරණයක් නොමැතිව කුලී රස්සා කරමින් ජීවිතය ගෙවා දමන්නේය. ඔහුගේ තනියට සාලයේ කොනක ඇති මේසය මත තමන්ට සිදුවූ අසාධාරණය පිළිබද යෙදූ සටහන් සහිත ලිපි ගොනු කාවන්ගේ රාජභවනක්ව තිබෙනු දැකීමෙන් කළකිරුණද ඔහු වෙනුවෙන් සාධාරණයක් ඉටුවීමට තවමත් කාලය ඇති බව අපට හැගේ.

“මට සාධාරණයක් ලබා දෙන්න. මම ඉල්ලන්නෙ එච්චරයි!” අවසානයේදී සංජීව අපට එසේ පැවසුවේය.

 

 

 

Leave a comment

This website uses cookies to improve your web experience.