Skip links

නයිටා ආයතනයේ බහිරවයෙක්

රසික ගුණවර්ධන

ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය හෙවත් නයිටා ආයතන පිහිටුවා ඇත්තේ රටේ රැකියා අපේක්ෂා කරන ප්‍රජාවට නිසි වෘත්තීය පුහුණුවක් ලබාදීමටය. එනම් මෙම ආයතනය රටේ ශ්‍රම බලකාය බිහිකිරීමෙහි ලා ඉතා විශාල කර්තව්‍යයක් සිදු කිරීමට පිහිටුවා ඇති ආයතනයකි. එහෙත් මෙම ආයතනය දූෂිත සහ අකාර්යක්ෂම තවත් එක් රජයේ ආයතනයක් පමණක් බව බොහෝ විමර්ශන වාර්තා සහ විගණන වාර්තා ආශ්‍රයෙන් තහවුරු වී ඇත. එහෙත් ඒ වාර්තා එකක් හෝ සැලකිල්ලට භාජනය කිරීමට නයිටා ආයතනය මේ දක්වා ක්‍රියාකර නැත. ඒ වෙනත් හේතුවක් නිසා නොව, ඒ සිදුව ඇතැයි කියන සියලූ වංචා හා දූෂණ වලට අධිකාරියේ ඉහළ නිලධාරීන් සම්බන්ධ වී ඇති බැවිනි.

සහකාර අධ්‍යක්ෂක (ඇගයීම්)
නයිටා ආයතනයේ සහකාර අධ්‍යක්ෂ (ඇගයීම්) තනතුරේ දැනට සේවය කරන එස්.වී.පී. වික්‍රමසිංහ ඒ තනතුර සඳහා අවශ්‍ය සුදුසුකම් සැපිරූ අයකු නොවන බවත්, ඔහු විශාල අක්‍රමිකතා සහ වංචාවන් සඳහා සම්බන්ධ වී ක්‍රියාකළ අයෙකු බවත් මේ වන විට අනාවරණය වී ඇත. ඒ බව මුලින්ම අනාවරණය වන්නේ වර්ෂ 2015 දී වුවත් මේ දක්වා ඔහු ඒ තනතුරේ රැඳී සිටීම විශ්මයට කරුණකි.

මොහු අදාළ තනතුර සඳහා අයදුම් කරනු ලබන්නේ 2014 අප්‍රේල් මාසයේදීය. ඒ බාහිර අයදුම්කරුවකු ලෙසය. එසේ බාහිර අයදුම්කරුවකු ලෙස අයදුම් කරන විට එකී තනතුරට අදාළව අවශ්‍ය සුදුසුකම් ලෙස ඉල්ලා තිබී ඇත්තේ ඉංජිනේරු/ විද්‍යා/කෘෂිකර්ම යන විද්‍යාවේදී උපාධිය සහ වසර 3 ක පශ්චාත් උපාධි විධායක පළපුරුද්දයි. එහෙත් සහකාර අධ්‍යක්ෂ (ඇගයීම්) ලෙස පත්වන එස්.වී.පී. වික්‍රමසිංහ මූලික සුදුසුකම් සපුරා තිබූ අයකු නොවන වග 2015 ඔක්තෝබර් මස 21 වැනි දින අධිකාරියේ සභාපතිට ලබාදුන්, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ අධ්‍යක්ෂ සහ සහකාර අධ්‍යක්ෂ බඳවා ගැනීමේදී සිදුව ඇතැයි සැලකෙන අක්‍රමිකතා පිළිබඳව සිදුකරන ලද මූලික විමර්ශනයේ විමර්ශන වාර්තාව හරහා ඩී. රාජරත්න නම් විමර්ශන නිලධාරියා ප්‍රකාශ කර ඇත.

එසේම එම විමර්ශනයට සාක්ෂි ලබාදෙමින් හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය වූ ප්‍රදීපා උදාකර සඳහන් කර ඇත්තේ දැනට සහකාර අධ්‍යක්ෂ (ඇගයීම්) තනතුරේ සේවය කරන එස්.වී.පී. වික්‍රමසිංහට වසර තුනක විධායක පළපුරුද්දක් තිඛෙන බවට නිශ්චිතව ඔහුගේ සහතිකවල සඳහන්ව නොමැති බවයි. කෙසේ වෙතත් ඇය සහකාර අධ්‍යක්ෂවරයා බඳවා ගැනීමට අදාළව පැවැත්වූ සම්මුඛ පරීක්ෂණයේ සාමාජිකාවක ලෙස ක්‍රියාකර ඇත. එසේම හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කරන කාරණාවම හිටපු අධ්‍යක්ෂ (පරිපාලන හා මානව සම්පත්) විසින්ද තහවුරු කර ඇති අතර ඔහුද අදාළ සම්මුඛ පරීක්ෂණයේ සාමාජිකයකු ලෙස සම්බන්ධ වී ඇත.

මෙසේ සැපිරිය යුතු සුදුසුකම් සපුරා නොතිඛෙන අවස්ථාවකදී එස්.වී.පී. වික්‍රමසිංහ සහකාර අධ්‍යක්ෂ ලෙස බඳවා ගැනීමට හේතුවී ඇති කාරණාව පිළිබඳව විමර්ශනයේදී සාක්ෂි සපයමින් හිටපු අධ්‍යක්ෂ (පරිපාලන හා මානව සම්පත්) සඳහන් කර ඇත. එකී විමර්ශන වාර්තාවේ 05 සහ 06 පිටුවල 04¦ 05 යටතේ එය සඳහන්ව ඇත්තේ මෙසේය. —සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය විසින් වික්‍රමසිංහ මහතා එම තනතුරට තෝරාගනු ලැබුවේ අනික් නිලධාරීන් අතුරින් එම නිලධාරියාට විශේෂත්වයක් කරන ලෙස ඉහළින් නියෝගයක් ලැබුණු බව සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට සභාපතිතුමා විසින් දැන්වූ නිසා බවත් අධ්‍යක්ෂ (පරිපාලන හා මානව සම්පත්) ගල්ලබ මහතා විසින් ප්‍රකාශ කර ඇත.˜

කෙසේ වෙතත් මෙම සහකාර අධ්‍යක්ෂ (ඇගයීම්) තනතුර සඳහා අයදුම්පත් කැඳවූ කාලවකවානුවේ නයිටා ආයතනයේ විෂය භාර බලධාරියා ලෙස අමාත්‍යාංශය නියෝජනය කර ඇත්තේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයාය. එසේම මෙම සහකාර අධ්‍යක්ෂ (ඇගයීම්) තනතුරට පත්වූ එස්.වී.පී. වික්‍රමසිංහ දෙදහස දශකයේ මුල් වකවානුවේ මාතර වැලිගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු ලෙසද කටයුතු කර ඇත.

විදේශගත වීම්
මෙසේ ව්‍යාජ සහතික ඉදිරිපත් කර දේශපාලන මැදිහත්වීම මත නියෝජ්‍ය අධ්‍යක්ෂ (ඇගයීම්) තනතුර ලබාගත් එස්. වී.පී. වික්‍රමසිංහ සිය පත්වීම ලබාගෙන මාස දෙකකට පසු එනම් පරිවාස කාලය තුළ විදේශ අධ්‍යාපන චාරිකාවකට සහභාගි වී ඇත. එය නීති විරෝධී කටයුත්තක් වේ. ආයතන සංග්‍රහයේ Xඪ වැනි පරිච්ඡේදයේ 3:1 වගන්තියේ සඳහන්ව ඇත්තේ —ස්වකීය පත්වීමේ කොන්දේසි අනුව සේවයේ ස්ථීර කරනු පි‚ස ලබා ගත යුතු කිසියම් සුදුසුකමක් ලබා ගැනීම සඳහා මිස, පරිවාස පිට සිටින නිලධාරියකු අධ්‍යයනය හෝ අභ්‍යාස සඳහා පිටරට නොයැවිය යුතුය.˜ යනුවෙනි. ඒ අනුව මෙම විදේශ ගතවීම ආයතන සංග්‍රහය කඩකිරීමකි.

ඒ බව ඩී. රාජරත්න විසින් ඉදිරිපත් කළ විමර්ශන වාර්තාවේද සඳහන් වන අතර එහි සඳහන් කර ඇත්තේ මෙකී සියලූම විසමාචාර ක්‍රියා සඳහා එවකට සිටි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පී.දඑස්. උදාකර ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය වගකිව යුතු බවයි.

නිපුණතා අභිෂේක
වික්‍රමසිංහ නීති විරෝධී ලෙස සහකාර අධ්‍යක්ෂ (ඇගයීම්) තනතුර ලබා ගැනීමෙන් පසු දිගින් දිගටම සිදු කරන්නේ වංචාවන්ය. ඔහු ස්වකීය තනතුර භාර ගන්නේ 2014.07.01 වැනි දින වන අතර ඔහුගේ පළමු වංචාව ලෙස හඳුනාගෙන ඇති මාතර පවත්වන ලද නිපුණතා අභිෂේක වැඩසටහනට ගෙවීම් අනුමත කළ නිලධාරියා ලෙස සම්බන්ධ වී විශාල මූල්‍ය වංචාවක නිරතවන්නේ 2014 දෙසැම්බර් මාසයේය. එනම් ඔහු තනතුර ලබාගෙන මාස පහකිනි. එම කාරණයම මොහු කෙතරම් දුරකට දේශපාලන ආරක්ෂාව ලැබූවකු බව තහවුරු කරන්නකි. එසේම මෙම මාතර පැවති නිපුණතා අභිෂේක වැඩසටහන මූලිකවම ඉලක්ක කර ඇත්තේ 2015 වර්ෂයේ පැවති ජනාධිපතිවරණයයි.

සහකාර අධ්‍යක්ෂ (ඇගැයීම්) වික්‍රමසිංහ විසින් එකී නිපුණතා අභිෂේක වැඩසටහනේදී සිදු කරන ලද වංචා දූෂණ පිළිබඳව දීර්ඝ විමර්ශනයක් ත්‍රිපුද්ගල කමිටුවක් විසින් සිදු කරන ලද —නිපුණතා අභිෂේක වැඩසටහන – මාතර (නිපුණතා අභිෂේක සංවර්ධන ව්‍යාපෘතිය – 2014) පිළිබඳ මූලික විමර්ශන වාර්තාවේ සඳහන් වේ. එය ඉදිරිපත් කර ඇත්තේ 2015.11.03 වන දිනය.

එම විමර්ශන වාර්තාවේ 3.2.1. ආහාර පාන, නවාතැන් ප්‍රවාහන ගාස්තු සඳහා වියදම් යටතේ සඳහන් වන්නේ හෝටල් සඳහා ගෙවීම් සිදු කිරීමේදී ගෙවීම් සිදු කළ සහකාර අධ්‍යක්ෂවරයා වන වික්‍රමසිංහට එම මුදල් ගෙවීමට මුදල් රෙගුලාසි 135 යටතේ බලතල පැවරීමක් සිදු නොකර තිබූ බවයි. එසේම එකී විමර්ශන වාර්තාව සඳහන් කරන්නේ වවුචර්පත් පරීක්ෂා කිරීමේදී නවාතැන් ලෙස තෝරාගත් හෝටල් කිනම් පදනමක් යටතේ තෝරා ගත්තේද යන්න පැහැදිලි නොවන බවයි. එසේම ඒ පිළිබඳව වික්‍රමසිංහගෙන් විමසා ඇති අතර ඔහුද විනිශ්ච සභාවට පිළිගත හැකි ආකාරයේ පිළිතුරක් ලබා නොදුන් බව විමර්ශන වාර්තාවේ සඳහන් වේ.

එසේම මාතර පැවති වැඩසටහනේදී වාහන හතක් සඳහා ඉන්ධන ගාස්තු ලෙස රුපියල් හැට තුන්දහස් තුන්සිය හැටයි ශත පනහක් වියදම් කර තිබී ඇති අතර සහකාර අධ්‍යක්ෂ වික්‍රමසිංහ ඒ මුදලින් රුපියල් පහළොස් දහසක් තමන්ගේ පෞද්ගලික මුදලින් ගෙවා නැවත අයකරගෙන ඇත. කෙසේ වෙතත් විමර්ශන වාර්තාව සඳහන් කරන්නේ එපමණ ප්‍රමාණයක ඉන්ධන නිකුත් කිරීමට විධිමත් අනුමැතියක් ලබාදී නොතිබූ බවයි. එසේම විමර්ශනය සඳහා නිවැරදි තත්ත්ව වසන් කිරීමට අදාළ ලිපි ලේඛන ඉදිරිපත් නොකළ බව අදාළ විමර්ශනයම සඳහන් කරයි. අදාළ ලිපි ලේඛන ඉදිරිපත් නොකර වික්‍රමසිංහ විසින් සිදුකර ඇති වංචා එසේ හෙළි වී නම්, ලිපි ලේඛන සහිතව විමර්ශනයක් වූවා නම් ඔහුගේ වංචාවේ තරම කෙතරම් විශාල වනු ඇත්දැයි පාඨක ඔබට සිතා ගැනීමට භාරය.

එසේම මාතර පැවති එම උත්සවය සඳහා නර්තන කණ්ඩායම් තුනක් කැඳවා ඇත. ප්‍රධාන ආරාධිතයා ලෙස අමාත්‍යවරයා සහභාගි වන්නේ නම් නර්තන කණ්ඩායම් තුනක් කැඳවීම සැකකටයුතු බව විමර්ශන වාර්තාව සඳහන් කරයි. එම විමර්ශන වාර්තාවට අනුව සඳහන් කරන්නේ වැඩසටහන ක්‍රීඩාංගණ දෙකක පැවැත්වූවා නම් ඒ සඳහා නර්තන කණ්ඩායම් දෙකක් ප්‍රමාණවත් වන බවයි.

නර්තන කණ්ඩායම් සම්බන්ධව වික්‍රමසිංහ සිදු කර ඇති වංචාව හෙළිවන්නේ එකී නර්තන කණ්ඩායම් සැපයීම පිළිබඳව තොරතුරු අධ්‍යනයේදීය. එහිදී මෙම වැඩසටහන කළමනාකරණය පිළිබඳව කොන්ත්‍රාත්තුව සපයා තිබූ ලයිට් හවුස් නමැති ආයතනය විසින් අමුත්තන් පිළිගැනීම සඳහා රුපියල් 25,000කට උඩරට වෙස් නැටුම් කණ්ඩායමක් ද, දකුණු දිසාව භාර සහකාර අධ්‍යක්ෂවරයා විසින් මාතර සංස්කෘතික අමාත්‍යාංශය යටතේ පවත්වාගෙනු ලැබූ කලා ආයතනයකින් රුපියල් 28,000 ක් සහ ප්‍රවාහන ගාස්තු රුපියල් 2300 ක මුදලක් ගෙවා නර්තන කණ්ඩායමක්ද ගෙන්වා ඇති අතර, ඊට අමතරව සහකාර අධ්‍යක්ෂ වික්‍රමසිංහ විසින් සිය පුද්ගලික මුදලින් රුපියල් 60,000 ගෙවා රාවන් නැමති ආයතනයකින් නැටුම් කණ්ඩායමක්ද ගෙන්වා ඇත.

විමර්ශන වාර්තාවේ සඳහන් වන්නේ මෙම රුපියල් 60,000 ගෙවීම යම් ආකාරයකට සැක උපදවන බවයි. එසේම මේ සඳහා සහකාර අධ්‍යක්ෂ වික්‍රමසිංහද, ගෙවීම් පරීක්ෂා කළ ශ්‍යාමා පෙරේරා ද, ගෙවීම සහතික කළ සහකාර අධ්‍යක්ෂ අසාර් ද ඒ සම්බන්ධව වගකිව යුතු බව විමර්ශන වාර්තාව සඳහන් කරයි.

එසේම එම විමර්ශන වාර්තාව තවදුරටත් සඳහන් කර සිටින්නේ මාතර පැවති වැඩසටහනට ඇගැයුම්කරුවන් 116 දෙනෙකුට දිනට රු. 5000 පමණක් ගෙවීමට කළමනාකරණ මණ්ඩල අනුමැතිය ලබා දී තිබියදී එය උල්ලංඝනය කරමින් වංචාකාරී අරමු‚න් සැකකටයුතු ලෙස වික්‍රමසිංහ විසින් ඇගැයුම්කරුවන් 166 දෙනෙකුට තවත් රුපියල් 2500 ය බැගින් එනම් එක් අයෙකුට රුපියල් 7500 ක මුදලක් ලෙස රුපියල් 782,500 ක මුදලක් ගෙවා ඇති බවයි. ඒ අනුව විධිමත් අනුමැතියකින් තොරව ගෙවා ඇති රුපියල් 202,500 ක මුදල වික්‍රමසිංහගෙන් සහ එම ගෙවීම පරීක්ෂා කළ නිලධාරීන්ගෙන් අයකරගත යුතු බව විමර්ශන වාර්තාව සඳහන් කරයි.
එසේම විමර්ශන වාර්තාව සඳහන් කරන්නේ මෙම වැඩසටහනට අදාළව හෝටල්වලට ගෙවා ඇති මුදල් සම්බන්ධව විනිවිධබවක් නොමැති බවයි. (42 පිටුව 3.6.6.2. හෝටල්වලට ගෙවා ඇති මුදල්)

මාතර තානායම, මාතර නගර සංවර්ධන අධිකාරියෙන් පාලනය වන ස්ථානයක්ය. එම තානායමේ නතරවීම සහ ආහාරපාන වෙනුවෙන් වියදම් සඳහා නිකුත් කළ යුතු චෙක්පත නිකුත් කළයුත්තේ නගර සංවර්ධන අධිකාරියට වුවත් එසේ නිකුත් නොකොට රුපියල් 86,540ක් වටිනා චෙක්පත නිකුත් කර ඇත්තේ එස්.ඩබ්ලිව්. කණ්ඩම්බි නමැත්තෙකුටය. එසේම සහකාර අධ්‍යක්ෂ (ඇගයීම්) එස්.වී.පී. වික්‍රමසිංහ විසින් තමන් අතින් වියදම් කළ මුදල් බව ප්‍රකාශ කර රුපියල් 210,000ක මුදලක් වෙක්පතක් මගින් ලබාගෙන ඇති නමුදු එම චෙක්පත ඔහු සිය නමට නොලියාගෙන එය මුදල් අංශයේ කළමනාකරණ සහකාරිවරියක් වන කේ.ඒ. රේණුකා නමැත්තියගේ නමට ලියවාගෙන ඇත. විමර්ශන වාර්තාව සඳහන් කරනුයේ එසේ පුද්ගලික නම්වලට චෙක්පත් ලිවීම බරපතළ වරදක් බවයි.

කෙසේ වෙතත් මෙම සහකාර අධ්‍යක්ෂවරයා තානායමේ නතරවී තානායමට ගෙවිය යුතු මුදල් එහි සේවය කරන පුද්ගලයකුගේ නමට ලිවීම පැහැදිලිවම වංචාසහගත අරමුණකින් සිදුකළ කාර්යයකි. එසේම තමා වියදම් කළ මුදල් සඳහා වෙනත් අයකුට චෙක්පත් ලබාදීමද වංචාසහගත අරමුණකින් සිදු කළ කටයුත්තක් බව පැහැදිලිය.
එසේම මොහු අතින් වියදම් කළා යැයි ප්‍රකාශ කරන රුපියල් 210,479.50 ක මුදල ගෙවූ ආකාරය බිල්පත් 30 මගින් ප්‍රකාශ කර ඇති අතර එයින් බිල්පත් 16 ඇත්තේ ආහාරපාන සහ කෙටි කෑම වේල් සඳහාය.

එහෙත් විමර්ශන වාර්තාව සඳහන් කරන්නේ හෝටල් හතරකින් රාත්‍රී හා උදේ ආහාර සපයා තිබියදී සහ ලයිට් හවුස් සමාගම විසින් උදේ, දිවා හා සවස ආහාර පාන, කෙටි ආහාර, තේ වශයෙන් ආහාර සපනය බැවින් එම වියදම් කිරීම් කිසිසේත්ම සාධරණ නොවන බවයි. එනම් බොහෝදුරට සහකාර අධ්‍යක්ෂවරයා මෙම මුදල් ලබාගෙන ඇත්තේ අහාර ලබා නොගෙන බව පැහැදිලිය.

ඒ අනුව ඔහු තමා අතින් වියදම් කළා යැයි පවසා ඉදිරිපත් කළ බිල්පත් 30 අතුරින් බිල්පත් 10ක්ම පිළිගත හැකි ඒවා නොවන බව විමර්ශන වාර්තාවේ සඳහන් වේ. එසේම එහි වැඩිදුරටත් සඳහන් වන්නේ එම ගෙවීම් අත්‍යවශ්‍ය අවස්ථානුකූල වියදම් නොවන බවයි.

R.P.L වැඩසටහන්
R.P.L වැඩසටහන් යනු කිසියම් වෘත්තීය නිපුණතාවක් ඇති අයකුට ඒ සම්බන්ධව පරීක්ෂා කර ඔහුට ඔහුගේ වෘත්තියට අදාළව සහතිකපතක් ලබාදීමේ වැඩසටහනක් වේ.

මෙම සහතික ලබාදීම සඳහා නයිටා ආයතනය අයදුම්කරුවන්ගෙන් යම් මුදලක් අයකරනා අතර එයට මුවා වී මෙම සහකාර අධ්‍යක්ෂවරයා එනම්, වික්‍රමසිංහ නමැත්තා විශාල ලෙස අල්ලස් ලබා ගන්නා බවටද චෝදනා එල්ල වේ.

එසේ කුරුණෑගල ප්‍රදේශයේ පැවැත්වූ R.P.L වැඩසටහනක් පිළිබඳව අංක ෙජ්.පී/ඊ/එන්/ඒ/ අයි/ටී/ඒ/කිව්/2014/07 දරන විගණකාධිපති වාර්තාව හරහා ඒ හා සම්බන්ධ දූෂණ, අක්‍රමිකතා සහ වංචාවන් පිළිබඳව හෙළිකර ඇති නමුදු මේ දක්වා ඒ පිළිබඳව ද විමර්ශනයක් සිදුකෙරී නොමැත.

එසේම රත්නපුර ප්‍රදේශයේ පෙර පාසල් ගුරුවරුන් උදෙසා 2019.1.19 දින පවත්වන ලද R.P.L වැඩසටහනක්ද විශාල දූෂණ සහ අක්‍රමිකතාවලින් යුත් එකක් බවට හෙළි වී ඇත. එසේම එම වැඩසටහන අධිකාරියේ අනුමත 2018 හෝ 2019 ක්‍රියාකාරී සැලස්මේ ඇතුළත් වී නොමැති එකක් වන අතර ඒ අනුව ඒ සඳහා මුදල් යොදාගනු ලැබුවේ කුමන වැයශීර්ෂයක් යටතේද යන්න ගැටලූවකි. එසේම එවැනි අවස්ථාවකදී අනුමැතිය ලබාගත යුතු අධිකාරියේ පාලක සභාවක් නොමැති පසුබිමක මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත්තේ කිසිදු අනුමැතියකින් තොරවය.

එසේම මේ පිළිබඳව තොරතුරු හෙළිවී ඇති පසුබිමක නයිටා ආයතනයේ අධ්‍යක්ෂ පරිපාලන අංශයේ සහකාර අධ්‍යක්ෂවරයකු ලවා ඇතැම් ලේඛන 2019 පෙබරවාරි මස 20 වැනි දින සිට අධිකාරියේ තනතුරු නොදරන හිටපු සභාපති ලවා 2019.3.6 වැනි දින හිටපු සභාපතිගේ නිවසේදීත්, 2019.3.11 දින බත්තරමුල්ල දියත උයන අසල ඇති මැක්ඩොනල්ස් අවන්හලේදීත් අත්සන් තබවාගෙන ඇත.

විමර්ශනයේ නිර්දේශ
එසේම එම වාර්තාවේ නිර්දේශ යටතේ සඳහන් කරන්නේ තනතුරුවලට අවශ්‍ය සුදුසුකම් සහිත නිලධාරීන් පත්වී නොමැති බැවින් ඔවුන්ගේ සුදුසුකම් නැවත පරීක්ෂා කළ යුතු බවත්, අධ්‍යක්ෂ ජනරාල් සම්බන්ධව දැඩි ක්‍රියාමර්ග ගත යුතු බවත්, පාලක සභාව විසින් චෝදනා එල්ල වී ඇති නිලධාරීන්ට චෝදනා පත්‍ර සකස් කළ යුතු බවත්ය.
එවකට සිටි අධ්‍යක්ෂවරිය තනතුරෙන් ඉවත්කළ යුතු බවත්, සහකර අධ්‍යක්ෂ වික්‍රමසිංහ කිසිදු අනුමැතියකින් තොරව නීත්‍යනුකූල නොවන ආකාරයෙන් හා යුක්තිසහගත නොවන ආකාරයෙන් රු. 210,479.50 ක් වියදම් කොට එය නයිටා ආයතනයෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් ඔහුට විරුධව විනයානුකූලව ක්‍රියාකළයුතු බවත්, නැතහොත් අදාළ සම්පූර්ණ මුදලම ඔහුගෙන් අයකරගත යුතු බවත් ලෙසට නිර්දේශ දහයක් පනවා ඇතිමුත් ඒ සම්බන්ධව එකදු නිර්දේශයක් හෝ තවමත් ක්‍රියාත්මක වී නොමැත.

එසේම නයිටා ආයතනයේ විෂය භාරවන්නේ අගමැතිවරයා යටතටය. රටේ අගමැතිවරයාගේ විෂයයන් මෙතරම් දූෂිත නම් යහපාලනයේ කෙරුවාව ගැන රටේ ජනතාවට සිතා ගත හැකිය.

Leave a comment

This website uses cookies to improve your web experience.