තොරතුරු  අයිතිය උදෙසා කැපවෙන  කොමිසමක් 

images (1)

තොරතුරු  අයිතිය උදෙසා කැපවෙන  කොමිසමක් 

ගමේ කොන්ක්‍රීට් පාර ඉදිකිරීම සදහා වැයවූ මුදල, එහි කොන්ත්‍රාත් පදනම, ඉදිකිරීම් ප්‍රමිතිය වැනි කරුණු පිළිබඳව ඔබට තොරතුරු ලබාගැනීමට හැකිද? එසේත් නොමැතිනම් ඔබට යම් සම්මුඛ පරීක්ෂණයකට අදාල තොරතුරු, ලකුණු ලබාදීම, කඩයිම් ලකුණු  හෝ එහි ලකුණු ගණනය කිරීම පිළිබඳව තොරතුරු ලබාගනිමින් ඒ සඳහා අදාල නිලලේඛන පිටපත් ලබාගැනීමේ හැකියාවක් පවතීද? ඔව්. රජයට බදු මුදල් ගෙවන ජනතාව ලෙස ඔබට එවැනි තොරතුරු ලබාගැනීමට ඇත්තේ අයිතියකි. එය පුරවැසි දේශපාලනය වේ. වැදගත් වන්නේ එම අයිතිය පිළිබඳව ඔබ නිවැරදිව දැනුවත් වීමයි. බොහෝවිට ගෝලීය වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම මත ක්‍රියාත්මක වන රටවල තොරතුරු දැනගැනීමේ අයිතිය පොදු ජනතාවගේ අයිතියක් ලෙස පිලිගැනීමට ලක්වේ. තොරතුරු දැනගැනීමේ අයිතිය යනුවෙන් සරලව අදහස් කරන්‌‌නේ පොදු අධිකාරින් භාරයේ පවතින තොරතුරු ලබාගැනීමට ජනතාව සතු අයිතියයි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (අ) ව්‍යවස්ථාව මගින් තොරතුරු කරා ප්‍රවේශ වීමේ අයිතිය සහතික කරයි.

තොරතුරු දැනගැනීමේ පනත යනු කුමක්ද?

2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද පනත තොරතුරුවලට ප්‍රවේශවීමට ඇති අයිතිවාසිකම පිළිබඳව අදාල විධිවිධාන සැලසීම සඳහාද, තොරතුරු වෙත ප්‍රවේශ වීම ප්‍රතික්ෂේප කලහැකි හේතු නිශ්චිතව දැක්වීම සඳහාද, තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව පිහිටුවීම, තොරතුරු නිළධාරීන් පත්කිරීම, තොරතුරු ලබාගැනීම සදහා වන ක්‍රියාපටිපාටිය නිශ්චිතව දැක්වීම සහ ඊට සම්බන්ධ කාරණා, විධිවිධාන සැලසීම සදහාද ඉදිරිපත් කරන ලද පනතකි.

මෙම පනතට අනුව, සෑම පොදු අධිකාරියක් සඳහාම තොරතුරු නිළලධාරියෙක් සිටිය යුතු වේ. ඔහුගේ හෝ ඇයගේ කාර්ය වන්නේ තම පොදු අධිකාරිය වෙත ඉදිරිපත් කළ තොරතුරු ඉල්ලුම්පත්‍ර සදහා තොරතුරු ලබාදීමට අදාල සියලු සහය ලබාදීමයි. එමෙන්ම නම්කළ නිළධාරියෙක්ද සිටිය යුතු අතර ඔහුගේ හෝ ඇයගේ කාර්‍යභාරය වන්නේ තොරතුරු නිළධාරියාගේ තීරණයෙන් අතෘප්තියට පත් තොරතුරු ඉල්ලුම්කරුවන් විසින් යොමුකරනු ලබන අභියාචනා සලකා බලා නියමිත කාලය ඇතුළත තොරතුරු ඉල්ලුම්කරු වෙත සිය තීරණය ලබාදීමයි.

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ යාන්ත්‍රණය නිසිලෙස ක්‍රියාත්මක නොවුනහොත්, එසේත් නැතිනම් තොරතුරු දැනගැනීමේ අයිතිය හා සම්බන්ධ රාජ්‍ය නිළධාරි යාන්ත්‍රණය දූෂිත වුවහොත් පාලකයින්ට හා රාජ්‍ය නිළලධාරරීින්ට තම අකටයුතුකම් පිළිබඳ තොරතුරු පහසුවෙන්ම සඟවාලිය හැකිවේ. එය සෘජුවම මහජනතාවගේ යහපැවැත්මට හානිකර වේ. රාජ්‍ය නිළලධාරරීින් ඉටුකරන කාර්‍යන් පිළිබඳව  පාරදෘශ්‍යභාවයක් නොමැති වීම නිසා ඒ පිළිබඳ  ප්‍රශ්න කිරීමේ ඉඩකඩද සීමාවේ. රාජ්‍ය යාන්ත්‍රණය දූෂිත වනවිට රාජකාරි ඉටුකර ගැනීමේදී  පගාව පෙරට පැමිණෙනු ඇත. සුදුස්සාට සුදුසු තැන හිමි නොවීමේ දුර්භාග්‍ය අත් විඳීමටට සිදුවන අතර රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී සිදුවන දේශපාලන හා ඥාති සංග්‍රහ නිසා සුවිශාල සමාජ අසාධාරණයකටද මුහුණ පාන්නට සිදුවනු ඇත. එහිදී අප බලා සිටියදීම රටේ පාරදෘශ්‍ය යාන්ත්‍රණය දුර්වල වී යනු ඇත.

තොරතුරු පනතෙන් සාර්ථක ප්‍රතිඵල

කෙසේ නමුත් ලෝකයේ අනෙකුත් තොරතුරු දැනගැනීමේ පනත් හා සැසඳීමේදී විශිෂ්ට ගණයේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතක් ශ්‍රී ලංකාව සතුවේ. එහි ප්‍රායෝගික විශිෂ්ටත්වය ලඟාකර ගැනීමට නම් තොරතුරු ඉල්ලීම හා තොරතුරු ලබාදීම යන දෙයංශයම විධිමත් වැඩපිළිවෙලක් ඔස්සේ ක්‍රියාත්මක කල යුතුවේ.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ ක්‍රියාකාරිකයෙකු සිය සංචාරයක්  අතරතුර ඇසුරුම් කල පානීය ජල බෝතල් වල මිල සමාගමෙන් සමාගමට වෙනස් වන බවත්, අවන්හල්වල විවිධ මිල ගණන් යටතේ මෙම පානීය ජල බෝතල් අලෙවි වන බවත් වටහාගන්නා ලදී. ඒ අනුව මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීමේ අවශ්‍යතාවය මත ඔහු ඇසුරුම් කරන ලද පානීය ජලය සදහා පවතින උපරිම සිල්ලර මිල පිළිබඳ විමසමින් තොරතුරු දැනගැනීමේ අයදුම්පතක් ඉදිරිපත් කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස තනි පුද්ගලයෙකුගේ උත්සහයක් මත තොරතුරු දැනගැනීමේ ඉල්ලීමක් මගින් කිසිදු මිල සීමාවකට යටත් නොවන නිෂ්පාදනයක් නියාමනයකට ගෙන ඒමට හැකි විය.

සුභසාධන යෝජනා ක්‍රම යටතේ ඉඩම් වෙන් කිරීමේදී සිදුවූ අක්‍රමිකතාවයන් නිසා ඉඩම් කච්චේරි වෙන්කිරීම් යෝජනා ක්‍රමය යටතේ කන්තලේ පදිංචි ගොවියෙකුට ඉඩම් කැබැල්ලක් හිමිනොවූ අතර තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ ජාතික සහයෝගිතා පදනම විසින් පවත්වන ලද වැඩමුළුවකට සහභාගී වීමෙන් පසු ඔහු තොරතුරු අයිතිය පිළිබඳව දැනුවත්ව තිබූ අතර ඔහු ඒ සම්බන්ධ තොරතුරු ඉල්ලීම් අයදුම්පතක් ගොනු කිරීමට තීරණය කරන ලදී. ඒ අනුව ඔහු තොරතුරු දැනගැනීමේ ඉල්ලුම්පතක් මගින් කන්තලේ සූරියපුරයේ ඉඩම් කච්චේරි වෙන් කිරීමේදී ඉඩම් කැබැල්ලක් තමා හට නොලැබීම සම්බන්ධව හේතු විමසා සිටි අතර එහි ප්‍රතිඵලයක් ලෙස මහවැලි අමාත්‍යාංශයේ තොරතුරු වාර්තා මත ඔහුට ඉඩම් ලබා ගැනීමට සුදුසුකම් ඇති බවත් එය හළඹයාය ඉඩම් වලින් වෙන් කරන බවටත් සදහන් විය. ඒ අනුව ඔහුගේ ඉඩම් කැබැල්ලක් ලබා ගැනීමේ සිහිනය තොරතුරු පනත හරහා යතාර්ථයක් බවට පත්විය.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිසම යම් ආයතනයක් තොරතුරු ලබාදීමේ වගකීම පැහැර හැරියහොත්, ප්‍රතික්ෂේප කලහොත් හෝ ලබාදුන් තොරතුරු වලින් තොරතුරු ඉල්ලුම්කරු සෑහීමකට පත්නොවන්නේ නම් තොරතුරු දැනගැනීමේ කොමිසම හමුවේ අභියාචනා කිරීමේ අයිතිය මහජනතාව සතුවේ. ඒ අනුව ජනතාවට නිසි ආකාරයෙන් තොරතුරු ලබාදීම සදහා වැදගත් කාර්‍යභාරයක් තොරතුරු කොමිසම විසින් ඉටුකරනු ලබයි.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ස්ථාපනය කරනු ලැබූ ස්වාධීන කොමිෂන් සභාවකි. එය ප්‍රධාන ලෙස මෙම අයිතිවාසිකම අධීක්ෂණය කරන හා බලාත්මක කරන ආයතනයයි. කොමිසම විසින් වඩා ඵලදායි විනිශ්චයන් සැපයීම සහ ඒවා බලාත්මක කිරීම, පොදු අධිකාරීන්ට එරෙහිව නඩු පැවරීම, රාජ්‍ය නිලධාරීන් පුහුණු කිරීම සඳහා සහාය දැක්වීම, මහජන දැනුවත්භාවය ඉහළ නැංවීම, කොමිෂන් සභා වෙබ් අඩවිය සහ මාධ්‍ය අන්තර්ක‍්‍රියා හරහා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත සම්බන්ධයෙන් මහජනතාවගේ අවබෝධය ඉහළ නැංවීම, වාර්තා කළමනාකරණය වැඩිදියුණු කිරීම, ප‍්‍රගාමී ලෙස හෙළිදරව් කිරීම ඉහළ නැංවීම හා ඵලදායී අධීක්ෂණ සහ ඇගයුම් පද්ධතියක් ස්ථාපිත කිරීම වැනි කාර්‍යන් ඉටුකරනු ලැබේ.

මෙහි සංයුතිය පිළිබඳ සැලකීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශයන් මත ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන සභාපතිවරයකු සහ සාමාජිකයන් 04 දෙනෙකු ඇතුලුව කොමසාරිස්වරුන් 05 දෙනෙකුගෙන් මෙම කොමිසම සමන්විත වේ.  තොරතුරු දැනගැනීමේ පනතෙහි විධිවිධාන අනුව,  ශ්‍රී ලංකා නීතීඥ සංගමය, මාධ්‍ය සංවිධාන සහ වෙනත් සිවිල් සංවිධාන විසින් නම් කරනු ලැබූ  තැනැත්තන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ජනාධිපතිවරයා වෙත  නිර්දේශ කරනු ලැබිය  යුතු විය. නිර්දේශිත තැනැත්තන් සමාජ ජීවිතයේ සුවිශේෂී තැනැත්තන් විය යුතු අතර ඔවුන් විසින් තෝරාගෙන ඇති ක්ෂේත්‍රයන්හි මනා අත්දැකීමෙන් හා විශිෂ්ටත්වයෙන් යුක්ත විය යුතුය. තවද ඔවුන් දේශපාලනමය හෝ යම් රාජ්‍ය හෝ අධිකරණ හෝ වෙනත් ලාභදායි ධූරයක් නොදරන තැනැත්තන් වියයුතු අතර, කිසිඳු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැති, කිසිඳු ව්‍යාපාරයක් කරගෙන නොයන සහ යම් වෘත්තියක යෙදී නොසිටින අය විය යුතුය.

කොමිෂන් සභා සාමාජිකයෝ් හෙවත් කොමසාරිස්වරු වසර 05 ක් සදහා සිය ධූරය හොබවති. ඒ අනුව මෙම වසරේ සැප්තැම්බර්  මාසයේ කොමිසමේ නිළධාරීන්ගේ ධූර කාලය අවසන් වීමට නියමිත වේ. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් මෙතෙක් පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කොට ඒ වෙනුවට පාර්ලිමේන්තු සභාව පිහිටුවීම හේතුවෙන්  තොරතුරු දැනගැනීම පිළිබඳ කොමිෂන් සභාවේ ස්වාධීනත්වයට බලපෑමක් සිදුවේද යන්න ප්‍රශ්නාර්ථයකි. එනම් මෙතෙක් එම පත්කිරීම් සදහා ආ.ක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ අවශ්‍ය වුවද, 20 වන සංශෝධනය හරහා පිහිටවූ පාර්ලිමේන්තු සභාවට හුදෙක් නිරීක්ෂණ ලබාදීමේ බලය පමණක් ලබාදී තිබේ. මෙහිදී එම පත්කිරීම් සදහා නිරීක්ෂණ ලබා ගත්තද එම නිරීක්ෂණ අනිවාර්ය ලෙසින්ම පත්කිරීම් සදහා අදාල කරගැනීමට ජනපති බැඳී නොමැත. එහිදී තවදුරටත් පෙනීයන්නේ කොමසාරිස්වරුන් පත්කිරීම සදහා ජනාධිපතිට අභිමතානුසාරී බලයක් පවතින බවයි. මේ තත්වය තුළ ස්වාධීන හා සුදුසු  කොමසාරිස්වරුන් පත්වේවිද යන්න අවධානයට ලක්විය යුත්තකි.

ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම සංතෘප්ත කිරීමට නම් කොමිසමේ පත්කිරීම් ස්වාධීන පදනමක පිහිටා සිදුකිරීම අත්‍යවශ්‍ය වන අතර පත්කිරීම් දේශපාලනීකරණයට ලක්නොකළ යුතුය. එමගින් ජනතාවට ඔවුන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙත නිසි අයුරින් ප්‍රවිෂ්ට වෙමින් ආණ්ඩුකරණයට සක්‍රීයව සම්බන්ධ වීමට හැකිවේ. තොරතුරු කොමිසමේ පත්කිරීම් දේශපාලන උවමනාවන් මත සිදුවුවහොත් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම තර්ජනයට ලක්වීම හා තොරතුරු සැඟවීමටමට මෙන්ම දූෂිත පාලනයකට පෙරමං විවර කිරීමක්ද සිදුවේ. එබැවින් ඉදිරි පත්කිරීම් පිළිබඳ  ජනතාව විමසිල්ලෙන් ක්‍රියාකලළ යුතුවේ. මේ අනුව තොරතුරු දැනගැනීමේ පනත හුදෙක් පුද්ගලික අවශ්‍යතා සදහා වන තොරතුරු දැනගැනීමට එහා ගිය සමාජ වටිනාකමකින් යුතු ක්‍රියාවලියකට දායක විය හැකි මෙවලමක් වශයෙන් හඳුන්වා දිය හැකිය. තොරතුරු දැනගැනීමේ අයිතිය තවදුරටත් ජනතාව වෙත සමීප කරමින්, රටේ ප්‍රගමනය උදෙසා රාජ්‍ය පරිපාලන ක්‍රියාවලිය විනිවිදභාවයකින් සහ දූෂණ වංචාවන්ගෙන් තොරව ක්‍රියාත්මක වීම තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා තහවුරු කිරීමට,කාර්‍යක්ෂම, විෂය ක්ෂේත්‍රීය දැනුම් පරාසයක් සහිත, නව ආකල්පයන්ගෙන් සමන්විත, භාෂා හැකියාවන්ගෙන්ද පරිපූර්ණ වූ, තරුණ සාමාජිකත්වයන්ද ඇතුළත් කොමිසමක් පත්කිරීම වැදගත්වේ.

මේ අනුව තොරතුරු දැනගැනීමේ අයිතිය සුරක්ෂිත කිරීමේ වගකීම පැවරෙන ප්‍රධානතම ආයතනයක් වන තොරතුරු කොමිසම  මහජනතාවගේ තොරතුරු ලබාගැනීමේ අයිතිය සුරක්ෂිත කිරීමට ස්වාධීන ලෙස ක්‍රියාත්මක වීම අතිශයින් වැදගත් වන අතර 20 වන සංශෝධනයෙන් සිදුවු වෙනස්කම් කෙසේ වුවද තොරතුරු පනත මගින් ස්ථාපිත කොට ඇති ප්‍රජාතන්ත්‍රවාදී පත්කිරීමේ ක්‍රියාපටිපාටිය ඉදිරියේදී පත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ දෙවන තොරතුරු කොමිසම පත්කිරීමේදී ද ජනාධිපතිවරයා විසින් අනුගමනය කරනු ඇතැයි මහජනතාව ලෙස අප බලාපොරොත්තු වන්නෙමු.

 තිළිණි ගමගේ   සහ   ඉමාෂා දිසානායක  

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල්

 

/ BLOG

Share the Post

Comments

No comment yet.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *