Skip links

‘අපේ සල්ලි මාවත”, දැනුවත්ගම

‘ට්‍රීන්’ ‘ට්‍රීන්’ ගාල වැට අද්දරින් ඇහුනු සද්දෙට ‘සමත්’ දුවල ගිහින් නැවතුනේ, කඩුල්ල ලග. තැපැල් මාම හිනා වෙවී ලියුම් තෝරනවා, ‘සමත්’ වෙනද පුරුද්දට බලුවෙ තැපැල් මාමගෙ බයිසිකලේ රෝද දෙක දිහා.. අද දවසෙම වැස්සත්, බයිසිකලේ රෝද දෙකේ මඩ බින්දුවක් නෑ. ඒකටත් එක්ක ඒ දවස්වල…..

‘සමතෝ’ ‘සමතෝ’ තාත්ත අපේ සමත් ට කතා කරන්නෙ එහෙමයි. කොහේ හිටියත් විනාඩියෙන් සමත් ගෙන්නගන්න පුලුවන් ඒ හඩට. “ඇයි තාත්තෙ”, කියාගෙන සමත් දුවගෙන ඇවිත් නැවතුනේ තාත්තගෙ මෝටර්සයිකලේ ලග. තාත්ත බයිසිකලේ හෝදනවා. “ඔන්න ඔය කෝටු කෑල්ලක් අරන් මේ මඩ ටික හූරන්න. මටනම් එපා වෙලා මේ පාරෙ යන්න එන්න ගියාම”, තාත්ත කීවෙ පාර දිහා තරහින් බලන ගමන්. පුන්චි වැස්සකට මඩ වෙන ගමේ පාර මීහරකුන්ටවත් යන්න බැරි ගානයි, සමත් ල ඉස්කෝලෙ ආවෙ ගියෙත් මේ පාරෙ, සුදෝ සුදු කොක්කු රෑනක් වගේ ගෙදරින් එලියට බැස්සට ඉස්කෝලෙට යනකොට සුදු ඇදුම් වල මඩ ගෑවීලා. ළමයි ලිස්සල වැටුනු දවසුත් නොතිබුනා නොවේ.

“අන්න දවල් සෝමෙ අයිය ආවා. මන්ත්‍රීතුමා කිව්ව කියන්නෙ පාර හදල දෙනවයි කියල ලබන මාසෙ. එතුමගෙ ප්‍රතිපාදන වලින්ලු කරන්නෙ.” එහෙම කියාගෙන තේ එකකුත් අරන් අම්ම ආව ලිද ලගට. තාත්ත තේ එක අතට අරන් ඒක හුස්මට දෙකට බීල, අන්තිම උගුර සමත්ට දුන්න. “අපිට කොහොම වෙතත් මේ පොඩි උන්ගෙ ජීවිත කාලෙ හරි මේ පාර හැදෙනවනම් ඇති”, තාත්ත කීවේ ආයිත් බයිසිකලේ හෝදන ගමන්.

සදුදා උදේම සමත් වෙනදවගේම, ඉස්කෝලෙ යන්න පාරට බැස්ස, සමත්ගෙ ගමන් සගයා සුරිත් ඈතින් එනවා.. ඒයි සමත් දන්නවද වැඩක්. අන්න හන්දියෙ ලොකු බෝඩ් එකක් දාලලු. අපේ අයිය කීවේ. ඉස්කෝලෙට යන්නත් හන්දිය පහුකරන්න තියන නිසා සමත් කලබල උනේ නෑ. “යන ගමන් බලමු”, සමත් සුරිත් එක්ක මඩ වලවල් බේරමින් හන්දිය පැත්තට ගියා.

සුමනෙ මාමයි, සීලවතී නැන්දයි ඉනේ අතගහගෙන හන්දියෙ පාර අයිනෙ ගහල තිබුන බෝඩ් එක කියවනවා. බෝඩ් එකේ ඉන්න කෙනා ඈත තියලම අදුනගන්න සමත්ට බැරිවුනේ නෑ. කට පුරවලා හිනාවෙලා ආයුබෝවන් කියාගෙන බෝඩ් එකේ ඉන්නෙ මන්ත්‍රීතුමා. බෝඩ් එක ලගට ගිය සමත් බෝඩ් එක කියවන්න ගත්තා.

දැනුවත්ගම ට, නවෝදයක්!
ගමට අලුත් පාරක්
ගරු මන්ත්‍රීතුමාට ගම්වාසීන්ගේ ස්තූතිය!

“ඇති යන්තං, ඒ උත්තමය නොහිටින්න මැරෙනකන් මේ මඩ ගොඩේ ගාටන්න තමා වෙන්නෙ” එහෙම කීවෙ සීලවතී නැන්ද. “මේකෙනුත් කීයක් හරි සාක්කුවට වෙන්න ඇති, නැත්තන් කරයි මේන් කියල” සුමනෙ මාම එහෙම කීවෙ නක්කලේට වගේ.

වැඩි යමක් නොතේරුනත් පාර හදනවා කියන කතාවනම්, සමත් ගෙ හිතට ගියා. ඉස්කෝලෙ ඉවරවෙලා ගෙදර එන කොට හන්දියෙ තව බෝඩ් ලෑල්ලක්. සමත් ඒකත් කියවන්න ගත්‍තා….

රජයේ මාර්ග සංවර්ධන වැඩපිලිවෙල යටතේ, දැනුවත්ගම මාර්ගය සංවර්ධනය කිරීම
දුර කි.මී 2යි
ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන පහයි

පාර හදන වැඩේට තව බෝඩ් කීයක් ගහවිද දන්නෙ නෑ. සුරිත් එහෙම කිව්වෙ වටේ ඉන්න ඔක්කොටම ඇහෙන්න. හන්දියෙ හිටපු මන්ත්‍රීතුමාගෙ ලේකම් සැරෙන් වගේ බලනවා දැකපු, සමත් සුරිත්ගෙ අතින් ඇදන් ගෙදර දිහාවට ගියා.

තාත්ත ගෙදර ආවෙ හවස්වෙලා… බයිසිකලේ හෝදන්න උදව්වෙන ගමන්, සමත් තාත්තගෙන් අහන්න හිටපු ප්‍රශ්න පත්තරේ දිග ඇරියා.
“තාත්තෙ පාර හදන්නෙ මන්ත්‍රීතුමාද?”
“අපි ගමෙන් මන්ත්‍රී කෙනෙක් පත්කරල තියෙන්නෙ ඕව කරන්න තමයි.” තාත්ත කීවෙ ටිකක් තරහිනුත් වාගෙ කියල සමත්ට තේරුනා.
“ගමේ පාර හදන්න මන්‍ත්‍රීතුමාට ඔච්චර සල්ලි කොහෙන්ද?”. “ඕවා මේ මන්ත්‍රීගෙ සල්ලි නෙවේ. ආන්ඩුවෙ සල්ලි”
“එතකොට ආන්ඩුවට සල්ලි කොහෙන්ද?”. මේක ඉවරයක් නොවෙන බව දැනගත්ත තාත්ත ලිං පඩියෙ වාඩිවුනා.

“ආන්ඩුවට එහෙමත් නැත්නම් රජයට සල්ලි ලැබෙන ප්‍රධානම ක්‍රමය තමයි, රටේ ජනතාවගෙන් එකතු කරගන්න බදු මුදල්.” “බදු මුදල් කියන්නෙ මොනවද කියලත් මම කියල දෙන්නම්”, තාත්ත එහෙම කීවෙ සමත්ගෙ ඊලග ප්‍රශ්නෙ දන්න නිසා.

රටක සිදුකරන සංවර්ධන වැඩවලට, එහෙමත් නැත්නම් රජයෙන් අපට ලබාදෙන සේවාවලට වැයකිරීමට රජයට මුදල් අවශ්‍යයි. ඉතින් ඒ මුදල් හොයාගන්න වෙන්නෙ රටේ මහජනතාවගෙන්මයි. ඒ නිසා රජය විවිධ ක්‍රම වලින් අපෙන් බදු අයකරගන්නවා. එක ක්‍රමයක් තමයි ඉහල වැටුපක් ගන්න අයගෙන් වගේම ව්‍යාපාර කරන අයගෙන්, කෙලින්ම ඒ වැටුපෙන් හෝ ඉපයීම් වලින් කොටසක් ආදායම් බදු ලෙස ලබා ගැනීම. අනෙක් ක්‍රමය තමයි අපි මිලදී ගන්නා භාණ්ඩ හා සේවා සදහා අපි ගෙවන මුදලෙන් යම්කිසි කොටසක් රජයේ බදුමුදල් ලෙස අයකර ගැනීම.

“එතකොට තාත්ත කියන්නෙ, මේ පාරවල් හදන්න වැය කරන්නෙත් ඒ බදු මුදල් ම ද?” ටිකක් කාරනේ තේරුම් ගියපු සමත් තාත්තගෙන් ඇහුවා. ” ඔව්, ඔයා කියන එක හරි, රජයේ බදු ආදායෙමෙන් කොටසක් මේවගේ වැඩ වලටත් යොදවනවා”.

“ඒ කියන්නෙ මේ පාර හදන්නෙ ‘අපේ සල්ලි’ වලින් එහෙම නේද?”, සමන්ගෙ ප්‍රශ්න පත්තරේට උත්තර දීල ඉවරවුනු තාත්ත, ‘ඔව්’ කියන්න වගේ ඔලුව හොලව හොලව ගේ ඇතුලට ගියා.

ඊට පස්සෙ ගත් වුනු සති කීපය සමත්ට වගේම එයාගෙ යාලුවන්ටත් කවදාවත් අමතක වෙන එකක් නෑ. බුල්ඩෝසර පාර ලොකු කරල කපපු හැටි, ගල් අතුරල ඒවා තලපු තඩිම් තඩි ගල් රෝල වගේම. කලුම කලු තාරවල සුවද. ඒවා කොහොම අමතක වෙන්නද?

වැඩි දවසක් ගියේ නෑ, පාර හදල ඉවරවුනා. බලන්නත් ලස්සනයි. ගම හරහා යෝද කලු පාට නයෙක් ඇදෙනවා වගේ. වෙනදට වඩා වාහනත් යනව එනවා වැඩියි. සමත්ට ඊට පස්සෙ තාත්තගෙ බයිසිකලේ හෝදන්න වුනේ නෑ. තාත්තට සමත්ගෙ ප්‍රශ්න පත්තරවලට උත්තර සපයන්න උනෙත් නෑ.

“අන්න හෙට පාර විවෘත කරනවලු, පාර මන්ත්‍රීතුමාගෙ තාත්තගෙ නමෙන් නම් කරලලු”, අම්ම කිව්වෙ හරිම සතුටෙන්. “ඇයි එහෙම නමක් දාන්නෙ පාරට?”සමත්ගෙන් අම්මට ප්‍රශ්නයක්, “එහෙම තමා පාරවල් නම් කරන්නෙ ඒක හදපු කෙනා හරි එයාට සම්බන්ද කෙනෙක්ගෙ නමෙන් තමා.” අම්ම කීවෙ හැමදාම වුනු විදිය ගැන බව සමත්ට තේරුනා.

පහුවෙනිදා ගමේ ලොකු උත්සවයක්. සෙනග පිරිලා හන්දිය පුරාවටම, ගස් ගල් තාප්ප බිත්ති වල මන්ත්‍රීතුමාගෙ පින්තූර. ටික වේලවකින් උත්සවේ ආරම්භ වෙන බව යකඩ කටෙන් කියන කොටම සමත් තාත්තත් එක්ක හන්දියට ගියා.

මන්ත්‍රීතුමා වාහනෙන් බැහැල, කෙලින්ම ගියේ පාරෙ නාම පුවරුව විවෘත කරන්න. ඒක ලස්සන රෙද්දකින් වහල තිබුනෙ. රතිඤ්ඤා සද්දෙත් එක්කම මන්‍ත්‍රීතුමා නාම පුවරුව නිරාවරණය කළා. වටේ හිටි අය හයියෙන් අත්පුඩි ගැහුවා. නමුත් වුනේ කවුරුත් නොහිතපු දෙයක්.. මන්ත්‍රීතුමා තරහෙන් වගේ ගිහින් ජීප් එකට නැගල යන්න ගියා. මොකද වුනේ කියල සමත්ගෙ අතින් ඇදගෙන නාම පුවරුව බලන්න ඒ ලගට ගියපු තාත්ත පුදුමෙන් වගේ සමත් දිහා බැලුවා… නාම පුවරුවේ සුදු පාට රවුම් අත් අකුරෙන් ලියල කොලයක් අලවලා,

‘අපේ සල්ලි මාවත”……..

සමත් තාත්තගෙ නමට ආව ලියුම අරන් ලිපිනය කියෙව්වා.

සරත් අමරසිංහ
අපේ සල්ලි මාවත,
දැනුවත්ගම.

ජාත්යාන්තර දූෂණ විරෝධී දිනය අදයි…
ඔබේ අදහස් පහත hashtags සමගින් සමාජ ජාල ඔස්සේ පලකරන්න.

Leave a comment

This website uses cookies to improve your web experience.