Skip links

ලංගම බස් රථ අයථා ලෙස මැතිවරණ කටයුතුවලට යොදාගැනීම

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක රැස්වීම් සඳහා පාක්ෂිකයන් ප්‍රවාහනයට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ විශාල ප්‍රමාණයක් නිතිපතා යොදා ගැනීම පිළිබඳව පැමිණිලි රැසක් අප වෙත ලැබී තිබේ. ඒ සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්තුමා වෙත යොමු කරන ලද ලිපිය පහත දැක්වේ.

 

ධම්මික පෙරේරා මහතා. ලේකම්, ප්‍රවාහන අමාත්‍යාංශය,
නො. 01,
ඩී.ආර්. විෙජ්වර්ධන මාවත,
කොළඹ 01.

ලේකම්තුමනි,

ලංගම බස් රථ අයථා ලෙස මැතිවරණ කටයුතුවලට යොදාගැනීම.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක රැස්වීම් සඳහා පාක්ෂිකයන් ප්‍රවාහනයට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ විශාල ප්‍රමාණයක් නිතිපතා යොදා ගැනීම පිළිබඳව පැමිණිලි රැසක් අප වෙත ලැබී තිබේ.

ප්‍රධාන ගිණුම් නිලධාරියා ලෙස මෙම දේපළ අවභාවිත වීම වැළැක්වීමේ ප්‍රධාන වගකීම පවතින්නේ ඔබ සතුව බව ප්‍රථමයෙන් සඳහන් කිරීමට කැමැත්තෙමු. මේ කරුණ සම්බන්ධයෙන් ඔබගේ අවධානය යොමු කරමින් 2014-11-28 දින අප විසින් ලිපියක් එවා ඇති බවද යළිත් වරක් සිහිපත් කරමු.

බොහෝ අවස්ථාවල මෙම බස් රථ ලබාගෙන ඇත්තේ කිසිදු මුදල් ගෙවීමකින් තොරව වන අතර, මේ හේතුවෙන් එම මණ්ඩලයට දෛනිකව රු. ලක්ෂ 60 කට වැඩි පාඩුවක් සිදු වන බව ඒ පිළිබඳව අප විසින් කරන ලද විමර්ශනවලදී අනාවරණය විය. මෙසේ බස් රථ ලබා ගැනීම හේතුවෙන් බොහෝ ප්‍රදේශවල ග්‍රාමීය මාර්ග ආශ්‍රිත මගී ප්‍රවාහන සේවාව මුළුමනින්ම පාහේ අඩාළ වී ඇති අතර, එම බස් රථවලින් දෛනිකව ගමන් පහසුව සලසාගන්නා මගීන් මෙන්ම අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් දැඩි දුෂ්කරතාවයට පත්වන බව අප විසින් නිරීක්ෂණය කර තිබේ.

අනුරාධපුරයේ පැවති මහින්ද රාජපක්ෂ මහතාගේ මංගල ජන රැළියට ආධාරකරුවන් ප්‍රවාහනය කිරීම සදහා යොදාගත් බස් රථ සංඛ්‍යාව 1100කට අධික බවට තොරතුරු ලැබී තිබේ. මෙම බස්රථ යොදවා ඇත්තේ ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ශී්‍ර ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නිමල් අබේසිංහ මහත්වරුගේ උපදෙස් මත, කිසිදු නීත්‍යානුකූල පරිපාටියකින් තොරව බවද ඩිපෝ අධිකාරීවරුන්ගෙන් අප කළ විමසීම්වලදී හෙළි විය.
ඇතැම් ඩිපෝවල ධාවනයේ යෙදෙන බස් රථ වලින් සියයට 80කට වැඩි ප්‍රමාණයක් එලෙස යෙදවීමට සිදුවූ බව ඩිපෝ අධිකාරීවරු අප කළ විමසීම්වලදී පැවසූහ. උදාහරණයක් ලෙස හොරොව්පතාන ඩිපෝවට අයත් බස් රථ 57න් 50ක් මෙලෙස යොදවා තිබූ අතර කැකිරාව ඩිපෝවට අයත් බස් රථ 62න් 50ක් යොදවා තිබුණි. මෙයට අමතරව වව්නියාවෙන් බස් රථ 20ක්, යාපනයෙන් බස් රථ 30ක්, මන්නාරමෙන් බස් රථ 10ක්, කිළිනොච්චියෙන් බස් රථ 10ක් සහ මුලතිව් ඩිපෝවෙන් බස් රථ 20ක් මෙලෙස අනුරාධපුරයේ පැවති ප්‍රචාරක රැස්වීමට යොදාගෙන ඇත.

මෙම බස් රථ ප්‍රචාරක කටයුතු වලට යොදාගැනීම හේතුවෙන් ශ්‍රී ලංගමයට මූල්‍යමය වශයෙන් පමණක් සිදුව ඇති පාඩුව දළ වශයෙන් රුපියල් මිලියන දහසයකට ආසන්න වේ. (රු. 16,000,000) මෙම බස් රථ සදහා මුදල් කලින් ගෙවූ බව ප්‍රවාහන ඇමතිවරයා පැවසුවද වවුනියාව, මුලතිව්, කිළිනොච්චිය, හොරොව්පතාන, කැකිරාව ඇතුළු බස් ඩිපෝවලින් කළ විමසුමකදී කිසිදු ගාස්තුවක් ගෙවා නොමැති බව හෙළි විය.

ඇතැම් ඩිපෝවලින් යැවූ බස් රථ අනුරාධපුරයට යන අතරේදී මගීන් පටවාගෙන යමින් මුදල් අය කරගෙන ඇතත් එයින් සැලකිය යුතු ආදායමක් ලැබී නොමැත.

මේ ආකාරයට මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් නාරාහේන්පිට, කඹුරුපිටිය, දඹුල්ල, නාවලපිටිය, මහනුවර ආදී ප්‍රදේශවලදී පැවති රැළි වලදී බස් රථ 750 කට වැඩි ප්‍රමාණයක් අධාරකරුවන් ප්‍රවාහනයට යොදා ගෙන තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් විවිධ මැතිවරණ වලට තරග වැදුණු අපේක්ෂකයන් සඳහා පසුගිය 12වැනිදා නාරාහේන්පිටදී පැවැත්වූ රැස්වීමකට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පිරිස් ප්‍රවාහනය කිරීම සදහා යොදා ගෙන තිබූ බස් රථ සංඛ්‍යාව 100 කට අධික බව අපගේ නිරීක්ෂණයි. එම බස් රථවල අංක වෙනම ඇමිණුමක් ලෙස ඉදිරිපත් කරමු.

මෙලෙස රාජ්‍ය දේපළක් වන බස් රථ ප්‍රචාරක කටයුතු සදහා මුදල් නොගෙවා යොදා ගැනීම වළක්වාලීමට වහා පියවර ගන්නා ලෙසත්, මුදල් ගෙවා හෝ විශේෂ කටයුතු සඳහා බස් රථ යොදාගනු ලබන අවස්ථාවලදී සාමාන්‍ය මගී ප්‍රවාහන සේවා අඩාළ නොවන පරිදි කටයුතු කිරීමට පියවර ගන්නා ලෙස ඩිපෝ අධිකාරී වරුන්ට නියෝග කරන ලෙසත් කාරුණිකව ඉල්ලමු.

බස් රථවල ප්‍රචාරක පෝස්ටර් සහ ස්ටිකර් ප්‍රදර්ශනය කිරීම
ලංගම බස් රථවල පිටුපස සහ ඇතුළත මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුළත් ප්‍රචාරක පෝස්ටර් ප්‍රදර්ශනය කිරීම ගැන දිවයින පුරා සියලූම ප්‍රදේශවල දක්නට ලැඛෙන සුලබ තත්ත්වයකි. ඒ පිළිබඳව සාක්ෂි සහිතව පැමිණිලි රැසක් ලැබී තිබේ.

මීට අමතරව පොදු මගී ප්‍රවාහනයේ යෙදෙන පෞද්ගලික බස් රථවල මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක ස්ටිකර් ප්‍රදර්ශනය කළ යුතු බවට මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරීන් බල කරන බවට බස් රථ හිමියෝ පවසති. මේ පිළිබඳව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විෙජ්රත්න මහතා විසින්ද

පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. මෙම තත්ත්වය වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමු.

මෙයට, විශ්වාසී,

එස් රනුග්ගේ
විධායක අධ්‍යක්ෂ
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා

Photo : http://www.lankadeepa.lk/index.php/top_story/282577

Leave a comment

This website uses cookies to improve your web experience.