Skip links

මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගි ගැහිලි

රසික ගුණවර්ධන

වංචාව සහ දූෂණය ඇත්තේ ඉහවහා ගිය තත්ත්වයකය. එහෙත් ඒවා කෙතරම් සාමාන්‍යකරණය වී ඇත්දැයි වැටහෙන්නේ දූෂකයන් සහ වංචනිකයන් බියක් හෝ සැකයකින් තොරව එක පොදියට දූෂණ ක්‍රියාවල නිරතවීම නිසාය. වංචාව මිලියන ගණනින් සිදු වුවද ලක්ෂ ගණනින් සිදු වුවද ඒවා වංචාවන්මය. මක්නිසාද යත් ඒ සියල්ලම රටේ ජනතාවගේ මුදල් බැවිනි.

මාර්ග සංවර්ධන අධිකාරියට අයත් අධිවේගී මාර්ග මෙහෙයුම් හා කළමනාකරණ අංශය එවැනි වංචාවන් නිරන්තරයෙන් වාර්තාවන එහෙත් වංචනිකයන් සුරැකිව වංචාවන් සිදුකරගෙන යන ආයතනයකි. අධිවේගී මාර්ග ඒකකයේ බණ්ඩාරගම කාර්යාලයේ සේවය කරන ඩී. එල්. අයි. හිරෝශිනී නම් පරිපාලන නිලධාරිනිය කාලයක් තිස්සේ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් වාහන අවභාවිත කරමින් තමන්ගේ පුද්ගලික කටයුතු සිදු කරගෙන ඒවා රාජකාරී ගමන් ලෙස ව්‍යාජව දක්වා එම ගමන් සඳහා ගමන් වියදම් දීමනා මෙන්ම නිවාඩු දිනවලදී සහ රාජකාරී වෙලාව ඉක්මවූ පසු එසේ යන එන ගමන් සදහා ඒවා රාජකාරි කටයුතු ලෙස දක්වා අතිකාල දීමනා පවා ඇය විසින් ලබාගෙන ඇති බවට රජයේ විගණකයන් විසින් සිදුකරන ලද විගණන විමසුමක් හරහා සනාථ වී ඇත. රජයේ විගණකයන්ගේ විගණනයෙන් අනතුරුව සිදු කරන ලද අභ්‍යන්තර විගණනයකින් ද මෙම වංචාව සම්බන්ධව සවිස්තරාත්මකව තොරතුරු හෙලිදරව් වී ඇත. එහෙත් ඒ සඳහා මේ වන තෙක් ආයතනික පාලන අධිකාරිය විසින් පියවරක් ගන්නවා වෙනුවට සිදුකර ඇත්තේ වංචාවට සම්බන්ධ නිළධාරිනිය බේරා ගැනීමට උපායමාර්ග තේරීමය.

මෙම වංචාව පිළිබදව කරනු ලැබූ අභ්‍යන්තර විගණන පරීක්ෂණයෙන් පරිපාලන නිලධාරිනිය කරනු ලැබූ වංචාව රු. 195,062 බව අනාවරණය වී ඇත. මෙම විගණන විමසුම අනුව 25% දඩ සමග අය කරගත යුතු මුළු මුදල රු. 243,827.61 බව දක්වා ඇත. එම මුදලින් වංචා කළ වැටුප හා දීමනා වෙනුවෙන් රුපියල් 53,570.70 මුදලක් හිරෝශිනි විසින් ගෙවා ඇති අතර (රිසිප්ට් අංක 0061747 හා 0061962) වංචාවට අදාළව ඉන්ධන වියදම හා රියදුරුගේ වැටුප් හා දීමනා වෙනුවෙන් රු. 190,255.91 මුදලක් තවදුරත් ගෙවිය යුතු බව 2019-06-17 වන දින අධ්‍යක්ෂ මුදල් විසින් හිරෝශිනි වෙත දන්වා ඇත.

 

අධ්‍යක්ෂකගේ උදව් උපකාර

ඉතාම කනගාටුදායක කරුණ වන්නේ මෙම සියලු ගමන් සඳහා යොදන බැහැරවීම් සියල්ල අනුමත කොට ඇත්තේ අධිවේගී මාර්ග අධ්‍යක්ෂ සමන් ඕපනායක විසිනි. ජාතික විගණන කාර්යාලයේ විගණකයන් විසින් මෙම වංචාව හසු කරගත් පසුත් NSBM ආයතනයේ දේශන වලට සහභාගී වීම සඳහා ප්‍රවාහන පහසුකම් ඕපනායක විසින් ලබා දී ඇත. එහිදී ඔහු යොදා ඇති එක් උපක්‍රමයක් වන්නේ ඇයට ලබා දී ඇති වාහනය වෙනුවට වෙනත් වාහනයක් භාවිත කරමින් අනෙකුත් සේවකයන්ගේ ඇසට වැලි ගසා එම ගමන් යාමට අවස්ථාව සලසා දීමයි. එම කටයුතු පහසු වීම සඳහා බණ්ඩාරගම කාර්යාලයේ සියලුම වාහන එකම සංචිතයකට අයත් වන බවට වන ලිපියක් ඕපනායක විසින් නිකුත් කොට ඇත. එමගින් ඔහු අපේක්ෂා කර ඇත්තේ පරිපාලන නිලධාරිනියට ඕනෑම වාහනයක් භාවිත කිරීමට අවස්ථාව සලසා දීමයි, ඒ අනුබලයෙන් හිරෝශිනි විසින් විගණකයන් එම වංචාව අනාවරණය කරගත් පසුත්  NA-3141  වැන් රථය හා තවත් වාහන භාවිත කොට මෙම වැරදි ක්‍රියාව දිගටම සිදු කොට ඇත.

 

පරිපාලන නිළධාරිනිය බේරා ගැනීමට අධ්‍යක්ෂක

මෙම වංචාව කරුණු සහිතවම සනාථ වී තිබියදී මෙම වංචාවෙන් වංචනික නිලධාරිනිය බේරාගැනීම සඳහා මෙම සියලු වංචාසහගත බැහැරවීම් සටහන් අනුමත කරමින් මෙම වංචාවට අනුබල දුන් අධිවේගී මාර්ග ඒකකයේ අධ්‍යක්ෂ සමන් ඕපනායක මහතා අපුරු පිළිතුරක් ආයතයනයේ සභාපති තුමා වෙත යවා ඇත්තේ ජාතික විගණන කාර්යාලයට ද පිටපතක්ද සහිතවය. එමගින් ඔහු කියා සිටින්නේ මෙම වාහනය ඇය වෙත ලබා දුන්නේ තමා බවත් ඇයට හා අධිකාරියේ NSBM පාඨමාලාව සඳහා සහභාගී වන තවත් නිලධාරීනියන් දෙදෙනකු සඳහා ද එක්ව භාවිත කිරීමට එම රථය ලබාදුන් බවයි. එහෙත් අප අධ්‍යක්ෂක ඕපනායක පවසන පරිදි එම වාහනය ලබා දුන්නා යැයි සඳහන් වන දර්ශනී නම් නිළධාරිනියගෙන් අප මේ සම්බන්ධව කළ විමසීමකදී ඇය පැවසුවේ ඇයට එසේ වාහනයක් අනුයුක්ත කර නොතිබූ බවත්, එහෙත් ඇයට  NSBM ආයතනයට යනෙන විට ඇතැම් අවස්ථාවට අතර මඟදී එම වාහනයේ ගමන් කර ඇති බවයි. එහෙත් පරිපාලන නිළධාරිනී හිරෝෂිනී නිවසේ සිටම එම වාහනයේ පැමිණෙන බවත් ඇය පැවසුවාය.

අධ්‍යක්ෂක ඕපනායකගේ අනුදැනුම ඇතිව මෙම ප්‍රවාහන පහසුකම ලබා දුන්නේ නම් බැහැරවීම් ලේඛනයේ ව්‍යාජ සටහන් පරිපාලන නිලධාරිනිය දැමුවේ ඇයි ද යන්නත් එසේම එම සටහන් ඕපනායක විසින්ම අත්සන් කළේ ඇයි ද යන්නත් ගැටලු ලෙස මතු වේ. මෙම ව්‍යාජ බැහැරවීම් අත්සන් කිරීම එම වගකීම ඇති නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු විසින් එකහෙලාම ප්‍රතික්ෂේප කොට ඇත්තේ මෙම වාහන අවභාවිතාව හොඳින් දැනගෙනය. එසේ වාහන පහසුකම් ලබා දීමක් වෙනත් කිසිවකුට ලැබී නැතුවා සේම එසේ ලබාදීම නීතියට එකඟ නොවේ.

මෙම වංචාව රජයේ දේපල සම්බන්ධයෙන් වන නිසාත් වංචාවේ වටිනාකම රුපියල් 100,000 වැඩි නිසාත් පොදු දේපළ පනත යටතේ අධිකරණයේ නඩු පැවරිය හැකිය. අධිවේගී මාර්ගයේ රුපියල් 50 සහ 100 වැනි මුදල් වංචා කළ සේවකයන් පවා රැකියා අහිමි කිරීමට කටයුතු කර ඇති අතර රුපියල් 65,000 වංචා කළ කොට්ටාව අන්තර් හුවමාරුවේ සහ එවන් වංචාවක් කළ ගොඩගම කාර්යාලයේ සේවකයන් දෙදෙනකු පිළිබඳව පොලිසියට පැමණිලි කොට අත්අඩංගුවට ගෙන පොදු දේපල පනත යටතේ අධිකරණයේ නඩු පවරා ඇත. එසේම පහළ සේවකයන් විසින් කරනු ලබන ඉතාම කුඩා වංචාවක් පිළිබඳව වුවත් වැඩ තහනම් කිරීමෙන් අනතුරුව පරීක්ෂණ කිරීම අධිවේගී මාර්ගයේ සාමාන්‍ය ක්‍රමය වුවත් වංචනික මෙම කාන්තාව පිළිබඳව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීම සිදු නොකරන මාර්ග සංවර්ධන අධිකාරිය තවදුරත් ඇය ආරක්ෂා කිරීමේ පිළිවෙතක් අනුගමනය කරමින් සිටි. මෙම ගැටලුවෙන් බේරීම සඳහා ඇය මේ දිනවල විවිධ දේශපාලකයන් සහ ඉහළ බලවතුන් හමුවීමට නිතර යන අතර ඒ සඳහා ද ඇය PB-8512  කැබ් රථය ඇතුලු වෙනත් රජයේ වාහන අවභාවිතයේ යෙදෙන්නේ මාර්ග සංවර්ධන අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් හා අධිවේගී මාර්ග අධ්‍යක්ෂකගේ පුර්ණ ආශිර්වාදයෙන් හා බල මහිමයෙනි. මෙම වංචාවන් හසුකර ගැනීමට විගණකයන් හට උපකාර කළා යැයි සැක කරන සේවකයන් හට තර්ජනය කිරිමද ඇය විසින් ඉහළ නිලධාරීන්ගේ උපකාරය සහිතව සිදු කරමින් සිටින බව මේ වන විට තහවුරු වෙමින් පවතී. එසේම ධාවන සටහන් වැරදි ලෙස දැමීම සිතාමතා වංචනික අරමුණින්ම සිදු කළ බව ඇය විගණකයන් වෙත 2018 දෙසැම්බර් 17 දින ලබාදුන් ලිපිය මගින් පිළිගෙනද ඇත.

ඒ හරහාද සනාථ වන්නේ අධ්‍යක්ෂක ඕපනායක පරිපාලන නිළධාරිනිය බේරීම සඳහා ඇය විසින්ම වරද පිළිගෙන ඇති විටත් ඇයව නිදොස් කිරීමට වෙහෙසෙන බවයි. එසේම වඩා විහිළු සහගත කාරණය වන්නේ අප පුවත්පත විසින්ම හෙළිකරන ලද අධ්‍යක්ෂක ඕපනායක සම්බන්ධ වංචාවන් දෙකක් වන අධිවේගීමාර්ග සේවකයන්ගේ සපත්තු වංචාව සහ අධිවේගී මාර්ග මල් වගාව සම්බන්ධ වංචාව යන සිදුවීම් දෙකටම ඔහුට චෝදනා එල්ල වන තත්ත්වයක සිටින විට ඔහුට මේ වන විට සිටි තනතුරේ සිට මාර්ග සංවර්ධන අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂක ජනරාල් ලෙස උසස්විමක් හිමිවීමයි.

කෙසේ වෙතත් ඕපනායක බරපතළ වංචාවන් ගණනාවකට හසුව ඇති හෙයින් ඉහළ නිළධාරීන්ගේ හොඳ හිත දිනා ගැනීමට මහත් සේ මේ වන විට වෙහෙස වෙමින් සිටී. පසුගිය දා පින්නදූව අධිවේගී පිවිසුමේ බුදු පිළිමයක් ඉවත්කරන ලෙස උපදෙස් දී ජාතිවාදී ගැටුමක් ඇති කිරීම සඳහා මාන බැලුවේ මෙම අධ්‍යක්ෂක ඕපනායක විසිනි. අප ඒ පිළිබඳව වාර්තාවක් පසුගිය පුවත්පතෙන් හෙලිකළ අතර ඉන් අනතුරුව ඔහු විසින් එම තොරතුර හෙළිකල නිළධාරීන් සොයා ඔවුන්ගෙන් පළිගන්නා බවට වහසි බස් දොඩවමින් සිටින බවට දැනගන්නට ඇත.

කෙසේ හෝ මෙවැනි වංචනිකයන් තවදුරටත් ආරක්ෂා වී සිටියහොත් රටේ මුදල් ද රාජ්‍ය සේවයේ ගෞරවයද වළපල්ලටම යනු ඇත.

 

Leave a comment

This website uses cookies to improve your web experience.