Skip links

මැතිවරණ නිරීක්ෂණ වාර්තා 01 – පොදු දේපල රැකගැනීමේ වැඩසටහන

Webppprgen1

රාජ්‍ය දේපල අවභාවිතය

  • ජාතික මුද්‍රණාලය

එක්සත් ජාතික පක්ෂයේ මහා සම්මේලනය පැවති ජූලි 11 වැනි දින බොරැල්ල කැම්බල් පිටිය අසල පිහිටි රජයට අයත් රාජ්‍ය මුද්‍රණාල‍ය ඇතුළත ප්‍රධාන මාර්ගයට ප්‍රදර්ශනය වන ආකාරයෙන් දැවැන්ත ප්‍රචාරක පුවරුවක් ඉදි කර තිබූ ආකාරය අප විසින් නිරීක්ෂණය කරන ලදී.   එම පුවරුව ප්‍රදර්ශනය කර තිබුනේ එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධිත ජාතික සේවක සංගමයේ මුද්‍රණාල සේවක සංගමය විසිනි. රාජ්‍ය ආයතන ඇතුලත මෙලෙස ප්‍රචාරක කටයුතු සිදු කිරීම ඔබගේ චක්‍රලේඛයන් උල්ලංඝනය කිරීමකි.

රාජ්‍ය මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ජාතික සේවක සංගමයේ ලේකම් නුවන් බුද්ධික මහතා එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනය පැවැත්වෙන අතරතුරදී ටී ෂර්ට් එකකින් සැරසී මුද්‍රණාලය තුල සැරිසරමින් සේවකයන් බලපෑම් සිදු කරමින් සිටින ආකාරය ද නිරීක්ෂණය කරන ලදී. මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට රාජ්‍ය සේවකයන් යොදවා ගැනීම පොදු දේපළ අයථා පරිහරණයකි.

මෙවර මැතිවරණයට ගාල්ල දිස්ත්‍රික්කයේ තරග වදින එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රී බන්දු ලාල් බණ්ඩාරගොඩ මහතා එක්සත් ජාතික පක්ෂ මහ සම්මේලනයට සහභාගී වීම සදහා ජූලි 11 වැනි දින ගාල්ලේ සිට දකුණු පළාත් සභාවට අයත් ඩබල් කැබ් රථයකින් පැමිණ සිටිනු නිරීක්ෂණය කරන ලදී.  එම කැබ් රථයේ අංකය PF – 0704 යි.

  • ලංගම බස්රථ

මේ වන විට මැතිවරණයට තරග වදින අපේක්ෂකයන් ගණනාවක් ලංගම බස් රථ යොදා ගනිමින් සිය ප්‍රචාරක කටයුතු පවත්වාගෙන යන ආකාරය ද නිරීක්ෂණය විය. එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක ශාමල් සෙනරත් සහ එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂක කරුණාරත්න හේරත් මහත්වරුන් මෙසේ තම පෝස්ටර් බස් රථ වල ප්‍රදර්ශනය කර තිබිණි.

  • රුපියල් ලක්ෂ 100 ක සෙවිලි තහඩු (Hut)

වයඹ පළාත් සභා මන්ත්‍රී සුමල් පෙරේරා මන්ත්‍රීවරයාට ලැබුණු රුපියල් ලක්ෂ 100 ක් පමණ වටිනා සෙවිලි තහඩු (Hut) බෙදා දීම මේ වන විට සිදුවෙමින් පවතී. හලාවත, නාත්තන්ඩිය, වෙන්නප්පුව සහ ආණමඩුව යන ප්‍රදේශවල පළාත් සභා මන්ත්‍රීවරයා සහ ඔහුගේ බාප්පා වන නියෝජ්‍ය අමාත්‍ය දයාශ්‍රිත තිසේරා නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් මෙම වහල තහඩු බෙදා දෙන ආකාරය තහවුරු කිරීමට  ඡායාරූප සහ වීඩියෝ පට අප සතුව පවතී.

  • රජයේ ගොඩනැගිලි

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරග වැදී සිටින පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇහැලියගොඩ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් පැරණි දුම්රිය ස්ථානය මේ වන විට පක්ෂ කාර්යාලයක් බවට පරිවර්තනය කර ඇත.

මෙය පොදු දේපල අයථා පරිහරණයකි. මෙම කාර්යාලයට අදාල ඡායාරූප  සහිත සාක්ෂි අප සතුව ඇත.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ල තුළ පිහිටි වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට අයත් පොල් සංවර්ධන මණ්ඩල කාර්යාලය මේ වනවිට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ පක්ෂ කාර්යාලයක් ලෙස පවත්වාගෙන යනු ලබයි.

මධ්‍යම පළාත් මහඇමතිවරයා මෙවර මහ මැතිවරණයට තරග නොවැදුණද මේ වන විට මහ ඇමතිවරයාට අයත් නිල නිවාසය මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට‍ යොදා ගනිමින් තිබේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයන් මෙලෙස එම නිවාසය මැතිවරණ කටයුතුවලට යොදා ගන්නා අතර එහි එක් අවස්ථාවක් අප විසින් ඡායාරූප ගත කරන ලදී. මහනුවර දිස්ත්‍රික්කයට තරග වදින අපේක්ෂකයන්ට ආශිර්වාදය ලබා දීමේ උත්සවයක් නිල නිවාසයේ පැවැත්වෙන ආකාරය ඡායාරූපයේ දැක්වේ.

දෙමල ජාතික සන්ධානයේ ත්‍රකුණාමලය දිස්ත්‍රික් නායක ආර්. සම්බන්දන් මහතා ත්‍රිකුණාමලය නගර සභාවට අයත් සම්මන්ත්‍රණ ශාලාව දේශපාලන රැස්වීමක් සදහා පසුගිය ජූලි 17 වැනි දා යොදාගෙන තිබෙන ආකාරය නිරීක්ෂණය කළ හැකි විය. මෙම රැස්වීමට නැගෙනහිර පළාත් සභාවේ මන්ත්‍රීවරුන් පැමිණ සිටියේ නිල රථ වලිනි.  ඉදිරියටත් මේ ආකාරයෙන් දේශපාලන රැස්වීම් වලට මෙම ශාලාව ප්‍රයෝජනයට ගැනීමට ඉඩ ඇති නිසා එය වැලැක්වීමට පියවර ගන්නා මෙන් ඉල්ලා සිටින්නෙමු.

මෙම පැමිණිලි සම්බන්ධව කඩිනමින් පියවර ගැනීමට ඔබ විසින් කටයුතු කරනු ඇතැයි අප අපේක්ෂා කරන්නෙමු.

මෙයට විශ්වාසී,

ශාන් විජේතුංග

ජාතික සම්බන්ධීකාරක

පොදු දේපල රැකගැනීමේ වැඩසටහන

 

pppr111 pppr11

Leave a comment

This website uses cookies to improve your web experience.