ගෝඨා සහ සජිත්ගේ ක්ෂුද්‍ර මූල්‍ය දේශපාලනය

9

ගෝඨා සහ සජිත්ගේ ක්ෂුද්‍ර මූල්‍ය දේශපාලනය

රසික ගුණවර්ධන

ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යසනය මේ වන විට ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙහිම ජනාධිපති අපේක්ෂකයන් විසින් කතාබහට ලක්කර ඇත. ගෝඨාභය සේම සජිත් ද ප‍්‍රකාශ කරන්නේ බලයට පත් වූ විගස ක්ෂුද්‍ර මූල්‍ය ණය සම්පූර්ණයෙන්ම කපාහරින බවය. ඔවුන්ට අනුව ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැමි ජන ජීවිතය වනසා දමන්නකි. ඔවුන් සමඟ අපට එකඟ විය හැකිය. ඒ ණය කපා දැමීමේ කතාව පිළිබඳව නොව, අපද පිළිගන්නා ආකාරයට ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැමි ජන ජීවිතය වනසා දමන්නකි, ඔබද මා ද දන්නා ආකාරයට එය ජීවිත 179ක් බිලිගෙන අවසන්ය. තත්ත්වය ඒ තරමට දරුණුය. ණය කපන කතාව පසුවට කල් තබමු.

ක්ෂුද්‍ර මූල්‍ය සංකල්පය ලොවට පහළ වන්නේ දුප්පත්කම තුරන්කිරීමේ අදිටනින්ය. අනන්‍යා රෝයි සිය power to capital නම් ග‍්‍රන්ථයේ සඳහන් කරන ආකාරයට ක්ෂුද්‍ර මූල්‍ය සංවර්ධනයේ සෑම තලයකම පාහේ පැතිර පවතී. ඇයට අනුව එය සර්ව රෝග නාශකයකි. ක්ෂුද්‍ර මූල්‍ය සංකල්පය වඩා ඵලදායක ලෙස සහ වඩා ප‍්‍රතිඵලදායක ලෙස ක‍්‍රියාත්මක කරන්නේ බංග්ලාදේශයේ මොහොමඞ් යූනුස් විසිනි. ඒ ඔහුගේ ග‍්‍රාමීන් (Grameen) නම් වූ ක්ෂුද්‍ර මූල්‍ය සංකල්පය හරහාය. එහිදී ඔහුගේ ග‍්‍රාමීන් ක‍්‍රමවේදය යටතේ කණ්ඩායම් කාන්තාවන් වෙත සියයට බින්දුවේ සිට සියයට පහ දක්වා වූ පොලියක් යටතේ කිසියම් වූ ආයෝජනමය කටයුත්තක් සඳහා ණය ලබාදෙනු ලබයි. එසේම එය නියාමනය සඳහා ක‍්‍රියාකාරී නියාමනයක් පවතී.

එහෙත් ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය කර්මාන්තය, ක්ෂුද්‍ර මූල්‍ය කර්මාන්තයේ මූලික අභිප‍්‍රාය වූ දුප්පත්කම තුරන් කිරීමෙන් පරිබාහිරව හුදෙක් ලාභය ලැබීම පමණක් අරමුණු කොටගෙන ක‍්‍රියාත්මක විය. ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය උගුලක් වී ඇත්තේ ඒ හේතුවෙන්ය. ඒ සඳහා මූලිකම හේතුව වූයේ ක්ෂුද්‍ර මූල්‍ය සංකල්පය මූල්‍ය ආයතන විසින් ස්වාධීන ලෙස ක‍්‍රියාත්මක කිරීමය. එනම්, එම ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදෙන ආයතන නියාමනය කිරීමේ සුදුසු නියාමන ක‍්‍රියාදාමයක් රජයේ පාර්ශ්වයෙන් ක‍්‍රියාත්මක වීමය. මෙම ක්ෂුද්‍ර මූල්‍ය ණය ක‍්‍රමය පිළිබඳව විශාල වශයෙන් ලංකාව තුළ කතාබහට ලක්වන්නේ 2016 වර්ෂයේ පමණ සිට වූවත්, ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය ඉතිහාසය ආරම්භ වන්නේ 1980 තරම් ඈතකදීය.

එනම් 1983 දී මොහොමඞ් යූනිස් ග‍්‍රාමීන් ක්ෂුද්‍ර මූල්‍ය සංකල්පය හඳුන්වා දීමට ප‍්‍රථමයෙනි. ඒ සමූපාකාර ණය සමිති හරහාය. ඉන්පසු ප‍්‍රාදේශීය සංවර්ධන බැංකු හරහාද, රාජ්‍ය නොවන සංවිධාන හරහාද මෙම ක්ෂුද්‍ර මූල්‍ය ණය ක‍්‍රමය ක‍්‍රියාත්මක විය. ක්ෂුද්‍ර මූල්‍ය සංකල්පය ක‍්‍රියාත්මක කළ මුල්ම රාජ්‍ය නොවන සංවිධානය නම්, සර්වෝදය ව්‍යාපාරයයි. කෙසේ වෙතත් මේ ආකාරයට ක‍්‍රියාත්මක වෙමින් පැවති ක්ෂුද්‍ර මූල්‍ය ක‍්‍රමය, විනාශයට පාර කපන ක‍්‍රමවේදයක් බවට හැරැුවෙන්නේ 2009 වර්ෂයේදී පමණය. එනම් රාජපක්ෂගේ කාලයේදීය. 2004 දී සුනාමිය සඳහා ලැබුණු විදේශාධාර අවභාවිත කරමින් ආරම්භ කරන ලද බොහෝ ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා දෙන රාජ්‍ය නොවන ආයතන සහ සංවිධාන විය. ඒ අනුව අප බැලූවහොත් 2004 සිට 2016 දක්වා අතර වූ කාලයේ එනම්, ගෝඨාගේ අයියාගේ කාලයේ ක්ෂුද්‍ර මූල්‍ය ක‍්‍රමය විනාශකාරී ලෙස ආරම්භ වීම, ක‍්‍රියාත්මක වීම සහ වර්ධනය වීම සිදුවිය. එසේ කියා වත්මන් රජයේ ක්ෂුද්‍ර මූල්‍යයේ වගකීමෙන් බැහැර වන්නේ නැත. ඔවුන් කරබාගෙන සිටියා මිස ඒ වෙනුවෙන් කිසිවක් සිදු කළේ නැත, සිදු කළේ බොරු පොරොන්දු දෙමින් වැල යන අතට මැස්ස ගැසීමය.

කෙසේ හෝ ක්ෂුද්‍ර මූල්‍ය විෂයට අදාළව සාකච්ඡුා කළහොත් මොවුන්ගේ ක්ෂුද්‍ර මූල්‍ය ණය කැපීමේ කතාව කොන්ස්යේටිව් පන්නයේ එකකි. ණය කැපුවායින් පසු මරුය. එය ආශික්ත විය හැකි, ණය බරින් මිරිකී සිටින්නන්ට ගොඩ යා හැකි අපූරු විසඳුමක් සේ පෙනේ. එහෙත් හැඟීම් වලින් පරිබාහිරව, වඩා ඉදිරිගාමී සහ සවිඥානික ලෙස සිතුවහොත් ණය කපා දැමීම යනු විහින් වළ කපාගෙන එහි වැටීමක්ය, මක් නිසාද යත් එය රටේ ආර්ථිකයට මරු පහරක් බැවිනි.

රජයේ මහ බැංකුවේ අධිපති සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් පුන පුනා කීවේ ණය කපා හැරීම සිදු කළ නොහැකි බවත්, එසේ කළහොත් ලංකාවේ සමස්ත බැංකු ක්ෂේත‍්‍රයම කඩා වැටීමේ අවදානමක් පවතින බවය. එසේම ඔවුන්ට අනුව ලංකාවේ බැංකු යැපෙන්නේ මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය හරහාය. ශ‍්‍රී ලංකාවේ මහ බැංකුවට ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීමේ යාන්ත‍්‍රණයක් නොමැත. ඔවුන් එය අපගේ වගකීමක් නොවන බව පවසා අත පිසදා ගැනීම සිදු කරති. ඒ හේතුවෙන් මේ වන විට ක්ෂුද්‍ර මූල්‍ය පනත යටතේ මහ බැංකුවේ නියාමනය නොවූ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන තුන්දහසකට අධික ගණනක් රට පුරා ව්‍යාප්තව පවතී.

ලංකාව අපූරු රාජ්‍යක් බැවින්, රට සහ රටේ ආර්ථිකයට කුමක් වූවද දේශපාලකයන්ට තමන්ගේ බලය පවත්වා ගැනීම ඊට වඩා වැදගත් වන බැවින් දේශපාලන අවශ්‍යතාවක් උදෙසා වත්මන් රජය කිසියම් නිර්ණායක කිහිපයක් මත සිට ක්ෂුද්‍ර මූල්‍ය ලබා ගත් කාන්තාවෝ පිරිසකගේ ණය මුදල් කපා හැරීමට ක‍්‍රියා කළෝය. එය දැක්විය හැක්කේ, ලංකාවේ බැංකු සහ මූල්‍ය ආයතන ක්ෂේත‍්‍රය ක්ෂුද්‍ර මූල්‍ය නම් වූ කුලූනු මත ඉදිකර ඇත්නම්, එයින් කුලූනු කිහිපයක් සිඳ දැමීමටය. ඒ හරහා සිදු වන්නේ බැංකු සහ මූල්‍ය ආයතන දුර්වල වීමය. මේ වන විට එය සිදුව ඇත. පසුගිය දිනෙක ප‍්‍රගතශීලී යොවුන් එකමුතුව සහ ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය කර්මාන්තයේ යෙදෙන ප‍්‍රසිද්ධ මූල්‍ය ආයතනයක් ප‍්‍රධාන කළමනාකරු සමඟ කළ කතාබහකදී ඔහු සඳහන් කළේ රජය සිදු කළ මෙම කාර්යය හරහා තමන්ගේ ආයතන විශාල අර්බුදයකට මුහුණ දී සිටින බවයි. ඔහු පැවසූ පරිදි රජය විසින් මෙම ණය කපා දැමීමට නියෝග කළද ඔවුන්ට එම ණය රජය විසින් පියවන්නේ තවත් වසර පහකින් අනතුරුවය. එහෙත් ඔවුන්ට මුදල් නොලැබේ. සුලූවෙන් හෝ මුදල් පිළිබඳව දැනුම ඇති අයෙකුට එම මූල්‍ය ආයතන මුහුණ දෙන විශාල අර්බුදය අවබෝධ කරගත හැකිය. ඒ අනුව කුමන හෝ හේතුවකට වත්මන් රජය විසින් ණය කපන්නට ගොස් මූල්‍ය ආයතන වලට අභාග්‍යසම්පන්න දසාවක් උදාකර ඇත.

මෙසේ ක්ෂුද්‍ර මූල්‍ය ණය සම්පූර්ණයෙන්ම කපා දමනවා යැයි පැවසීම අසික්කිත ඡුන්ද ගුණ්ඩුවක් වන්නේ අන්කවරක් නිසාවත් නොව, ගොදුරුවූවන් එය අසන විට ඔවුන්ට අමුතු සහනයක් ඇතිවීමත්, එහෙත් මේ කපේට එය කළ නොහැකි වීමත් නිසාය.

එසේම අප විශ්වාස කරන පරිදි කිසිවකුගේ ණය සම්පූර්ණයෙන්ම කපා දැමීමේ අවශ්‍යතාවක් නැත. ඒ සඳහා අවශ්‍ය වන්නේ වඩා ඉදිරිගාමී සහ දීර්ඝකාලීන වැඩපිළිවෙළකි. ණය කපා දමනවා යැයි පැවසීම තුළින්ම ප‍්‍රධාන අපේක්ෂක දෙපළගේ ආර්ථික ඥානය පිළිබඳව මනාව හෙළිවේ. ඔවුන් පවසන ආකාරයට ණය කපා හැරිය පසු අප පෙර සඳහන් කළ ආකාරයට එය රටේ ආර්ථිකයට මරු පහරක් වේ. එපමණක් නොව, ණය කපා දැමූ පසු ඒ මිනිසුන්ගේ ජීවිත සුඛිත මුදිත වේද? නැත. එවිට වන්නේ ඒ ණය බරින් නිදහස් නිසා සිත් සේ තවත් ණය ලබා ගැනීමට ඔවුන් යොමු වීමය. අනෙන් පසින් තමන් මුදල් ගෙන ඒවා තමන් ප‍්‍රතිලාභී ලෙස වියදම් කර ගැනීමට නොහැකි වීම පිළිබඳව රටේ අනෙක් මිනිසුන් වගකිව යුතු නැත. රටේ සියලූදෙනා අනුන්ගේ බර කරගැසිය යුතු නැත. තමන්ගේ බර තමන් දරාගත යුතුය.
රජයක් හෝ නායකයන් ලෙස සිදුකළයුත්තේ නීති විරෝධී සහ අසාධාරණ ලෙස ණය දුන් ආයතන වලින් අය කරගෙන ඇති පොලී මුදල් කපා හැරීම සහ විධිමත් විනිවිධ ක‍්‍රමවේදයක් තුළ සමස්ත ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත‍්‍රයම නියාමනය කිරීමය. ඒ සඳහා අවශ්‍ය වන ආයතන පිහිටුවීමය. නැතිනම් දැනටමත් පිහිටුවා ඇති ආයතන (මහ බැංකුව වැනි) ක‍්‍රියාත්මක කරවීමය.

එයින් අනතුරුව ණය ලබා ගත් පිරිස්වලට ආදායම් මාර්ග සාදා ඔවුන් ඒ ලබන ආදායම් හරහා ණය පියවීමට කටයුතු කරවීම සහ එම කර්මාන්ත දිගින් දිගටම පවත්වාගෙන යාමට අවශ්‍ය කරන උපකාර ලබාදීම හරහා ශක්තිමත් ආර්ථික ව්‍යුහයක් ගම්මාන තුළ බිහිකිරීමය. අප කළ සංචාරයකදී මැදිරිගිරිය ප‍්‍රදේශයේදී අපට එක් කාන්තාවක් මූලික වී පිහිටුවා ගත් කාන්තා බැංකු ක‍්‍රමයක් දැකගත හැකි විය. ඔවුන් සාමාජික ගාස්තු ලෙස අය කරන්නේ රුපියල් පහකි. ඉන් අනතුරුව එම මුදල් සාමාජිකයන්ටම ඉතාම අවම පොලී අනුපාත යටතේ ලබාදෙනු ලබයි, එපමණක් නොව ඔවුන් එය ණය ලබා ගත් කාන්තාව ඒ මුදල් වියදම් කරන ආකාරය පිළිබඳව සැලකිල්ලක් දක්වයි. කෙසේ හෝ අප එම ප‍්‍රදේශයට යන විට එම කාන්තා බැංකුවට රුපියක් ලක්ෂ පහක පමණ ණයක් එකවර ලබාදීමේ මූල්‍යමය ශක්තියක් ඇත්තියක වූවාය. වියයුත්තේ මෙවැනි ක‍්‍රම විධිමත් ලෙස දියුණු කිරීම විනා ණය කපා දමීම නොවේ. එසේම ක්ෂුද්‍ර මූල්‍ය ණය විධිමත් ලෙස භාවිත කළ හැකි ආකාරයන් සහ ක‍්‍රමවේද පිළිබඳව තවත් ඕනෑ තරම් උපහැරණ සොයා ගත හැකිය.

ලංකාව වර්තමානයේ මුහුණ දී තිබෙන තත්ත්වය අනුව ලංකාවට ඉන්දියාවේ ආන්ද්‍රා අත්දැකීම සලකා බැලිය හැකිය. එහිදී ඉන්දියාවේ ආන්ද්‍රා ප‍්‍රදේශයේදී SKS නමැති සමාගමක් ඉතා විශාල වශයෙන් ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදීම නිසා මිනිසුන් විශාල ප‍්‍රමාණයක් දිවි නසා ගත්තේය. එහෙත් එරට රජය ලංකාවේ රජය සේ ඇස් කන් වසාගෙන සිටියේ නැත. ඔවුන් වහාම අදාළ සමාගම රජය වෙත පවරාගනු ලබයි. ඉන් අනතුරුව නියාමන ක‍්‍රමවේදයක් ක‍්‍රියාත්මක කළ අතර ඒ යටතේ ඔවුන් උපරිම පොලී අනුපාතයක් හඳුන්වා දුන් අතර එක් පවුලකට ලබා ගතහැකි උපරිම ණය මුදලක්ද නියම කරනු ලැබීය.

එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය කර්මාන්තය සූරාකෑමේ උගුලකි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ‍්‍රී ලංකා රජයට යෝජනා කරන්නේ රජය විසින් ශක්තිමත් නියාමන රාමුවක් සකසන තුරු ක්ෂුද්‍ර මූල්‍ය ණය නැවත ගෙවීම තාවකාලිකව අත්හිටුවන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසය. ඒ නිර්දේශ ඉදිරිපත් කරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත පැබ්ලෝ බොහොස්ලැවිස්කි විසිනි. ඒ ඔහු විසින් ශ‍්‍රී ලංකාව තුළ සිදු කරන ලද පරීක්ෂණයකින් අනතුරුව නිකුත් කරන වාර්තාවකිනි. එම වාර්තාවට අනුව ඔහු පවසන්නේ රාජ්‍ය බැංකු සිය සහනදායී ණය සැපයුම් පුළුල් කළ යුතු බවයි. (2019.03. 10 රාවය මුල් පුවත)

මේ ජනාධිපතිවරණ අපේක්ෂකයන් දෙදෙනා පවසන පරිදි ණය මුදල් කපා හැරියහොත් සිදුවන්නේ රටේ අනෙකුත් කටයුතුවලට වියදම් කිරීමට ඇති මුදලින් ඒවා අය වීමය. උදාහරණයක් ලෙස අධ්‍යාපනයට වෙන්කරන මුදල්, සෞඛ්‍යයට ආදී අත්‍යවශ්‍ය මුදල් කප්පාදු වීම වැළැක්විය හැකි නොවේ. එවිට ඒවා පියවීමට තවත් කොහෙන් හෝ ණයක් ගෙන රට ණය බරේ ගිලීමට සිදුවේ.

එසේ නම් මේ අපේක්ෂකයන් දෙදෙනා මෙසේ ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා ඉවත් කරන බව පවසන්නේ කුමක් නිසාද? හේතුව පැහැදිලිය එනම්, මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා පීඩාවට පත්ව සිටින පවුල් ගණන ලක්ෂ විසි අටක් පමණය. එක් නිවසකින් ඡුන්ද දෙකක් ඇතැයි උපකල්පනය කළහොත් සමස්ත ඡුන්ද පන්ස් හයකි. හේතුව පැහැදිලිය.

පවුල් ලක්ෂ විසි අටක මරණයේ තොණ්ඩුව තමන්ගේ ඡුන්ද බිලී බා ගැනීමට උත්සාහ කරන මේ දේශපාලකයන් දෙදෙනා ගැන මහජනතාව ලැජ්ජා විය යුතුය. අනුන්ගේ ණයවලට සමස්ත ජනයාම කර නොගැසිය යුතුය.

/ Nov

Share the Post

Comments

No comment yet.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *