Skip links

අධිවේගයේ බාල සපත්තු

රසික ගුණවර්ධන

අධිවේගී මාර්ග මෙහෙයුම් හා කළමනාකරණ අංශයේ සේවකයන්ට සිය නිළ ඇඳුමේ අංගයක් ලෙස පාවහන් සපයනු ලබයි. එය සිදුවන්නේ සාමාන්‍ය රජයේ ගනුදෙනු සිදුකරන ආකාරයට ටෙන්ඩර් කැඳවීම් හරහාය. සාමාන්‍යයෙන් අධිවේගී මාර්ගයේ සේවා මුර රාජකාරියේ යෙදී සිටින සේවකයකුට මෙම සපත්තු පැය 14 -15 පමණ පැළඳ සිටීමට සිදුවේ. එසේම මෙම පාවහන් වසරකට ලබා දෙන්නේ එක් වතාවකි. ඒ හේතුවෙන් ලබාදෙන පාවහන් වල ගුණාත්මක බව ඉතාම වැදගත් කාරණයකි. එහෙත් පසුගිය වර්ෂයේ අධිවේගී මාර්ග ඒකකයට මිළදී ගෙන ඇත්තේ තත්ත්වයෙන් බාල පාවහන්ය.

බාල පාවහන්

සේවකයන්ට ලබා දීමට යන පාවහන් තත්ත්වයෙන් බාල බව මුලින්ම හෙළි වන්නේ පාවහන් ලබාදීමට පෙර ඒවා සඳහා ප්‍රමාණයන් ලබා ගැනීමට පාවහන් සාම්පල් ලබා දුන් අවස්ථාවේදීය. එහිදී සේවකයන් ඒ පිළිබඳව ඉහළ නිළධාරීන්ට දැනුම් දී ඇත. එහෙත් සේවකයන්ට අවසානයේ හිමිවන්නේ සාම්පල් සඳහා ලබා දුන් පාවහන් වැනිම තත්ත්වයෙන් බාළ පාවහන්ය.

එම පාවහන් සේවකයන්ට ලැබී ඔවුන් ඒවා දින දෙකක් පමණ භාවිතා කරන විට ඒ පාවහන් භාවිතා කළ නොහැකි තත්ත්වයකට පත්වී ඇත. සේවකයන් පවසන පරිදි එම පාවහන් භාවිත කරන විට පාවහන් වල පිටත ආලේප කර ඇති තීන්ත ගැලවී යන අතර ඇතැම් පාවහන් වල තීන්ත දියවී කලිසම් වල පවා ගෑවෙන තත්ත්වයක් උදාවී ඇත. මේ පිළිබඳව නැවත වතාවක් සේවකයන් විසින් ඉහළ නිළධාරීන්ට දැනුම් දී මුහුණු පොතේ ද මේ පිළිබඳව තොරතුරු සඳහන් කර ඇත. ඉන්පසු ඊට මාධ්‍ය හරහාද ලැබුණු ප්‍රචාරය මත අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමණාකරණ අංශය විසින් සේවකයන් වෙත ලබා දුන් පාවහන් අලුත් වැඩියා කර ලබා දීමට නැවත කැඳවා ඇත. එහෙත් සේවකයන් පවසන්නේ එම පාවහන් ප්‍රධාන කාර්යාලයේ මාසයක් පමණ තබාගෙන සිට අලුත් වැඩියාව සඳහා සැපයුම්කරු විසින් රැගෙන ගිය බවයි.

මෙම ගුණාත්මක බවෙන් බාල පාවහන් පිළිබඳව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂවරයාට සහ මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාට සමස්ත ලංකා අධිවේගී මාර්ග සේවක සංගමය විසින් පිළිවෙලින් 2018.07.17 සහ 2018.08.14 යන දියන් දෙකේදී ලිපි මඟින් දැනුම් දෙනු ලබයි. එහිදී එම සංගමය දැනුම් දෙනු ලබන්නේ අලුත් වැඩියාකර නැවත ලබාදෙන බවට ලබා ගත් තත්ත්වයෙන් බාල පාවහන්ම සේවකයන් අතර බෙදා දීමට අදාළ ආයතනය කටයුතු කළ බවයි. ඒ අනුව භාවිතා නොකර අලුත්වැඩියාව සඳහා පාවහන් ලබා දුන් ඇතැම් සේවකයන්ට හිමි වූයේ භාවිතා කළ පාවහන් බවත් ඒ හරහා සමේ රෝග වැනි සෞඛ්‍ය ගැටලු මතු වීමට හැකියාවක් ඇති බැවින් සේවකයන් එම සපත්තු ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ බවයි. කෙසේ වෙතත් අප කළ විමසීමකදී ඔවුන් පැවසූවේ මේ වන තෙක් ඒ සම්බන්දව කිසිඳු ප්‍රතිචාරයක් අධ්‍යක්ෂකවරයා හෝ සභාපතිවරයා නොදැක්වූ බවයි.

කෙසේ වෙතත් ඉන් පසුව 2018.11.26 වන දින අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අධ්‍යක්ෂක සමන් ඕපනායක විසින් නිළධාරීන්ට ලිපියකින් දැනුම් දෙන්නේ දෝෂ සහිත සපත්තු ප්‍රධාන කාර්යාලයට භාරදුන් බවත්, ඉතිරි සපත්තු නිළධාරීන් ලබාගත් බවත් ලිඛිතව සහතික කර තමා වෙතට එවන ලෙසටයි. එම ලිපිය හා එයට පිළිතුරු එවිය යුතු ආකාරය පිළිබඳව ඉසුරු නම් නිළධාරිය හරහා උපදෙස් ලබාදීම මඟින් උත්සාහ කර ඇත්තේ බලහත්කාරය යොදවා බෙදා දුන් සියලු පාවහන් ගුණාත්මක බවින් යුක්ත බවට නිළධාරීන් ලවා සහතික කරවාගෙන බාල පාවහන් සඳහා මුදල් ගෙවීමටයි.

ටෙන්ඩරට ලබා දීම

දැනගන්නට ලැබෙන තොරතුරු වලට අනුව වෘත්තීය සමිතිය විසින් සිදුකළ දැනුම් දීමට පසුව මාර්ග සංවර්ධන අධිකාරියේ අභ්‍යන්තර විගණනයක් සිදු කර ඇති අතර එයින් පසුව ජාතික විගණන කාර්යාලය විසින් විගණනයක් ආරම්භ කර ඇත. එකී විගණනයෙන් පසු 2019 පෙබරවාරි මාසයේ විගණන කාර්යාලය විසින් විගණන විමසුමක් සම්පාදනය කර ඇත.

එම විගගනයට අනුව පාවහන් සඳහා ටෙන්ඩරයට කැඳවා ඇත්තේ ආයතන එකොළහකින්ය. ඒ අනුව එස්. ඒ. ඩී. ලෙදර් ස්ටෝස්, පී.පී.කේ. වල්ලයිඅප්පා නාඩර්, සිලෝ ලෙදර් ප්‍රඩක්ස් පී. එල්. සී. , ඩී. එස්. අයි. (පෞද්ගලික) සමාගම, ඉරෝෂ ඉන්ටර්නැෂනල් (පෞද්ගලික සමාගම) කවීන් පොලිමස් (පෞද්ගලික) සමාගම, ඩයනා ෂූෂ් (පෞද්ගලික) සමාගම, බාටා ලංකා සමාගම, බෙටන්ස් ගෲප් (පෞද්ගලික) සමාගම, කවිඳු ද සිල්වා, සිලෝන් ලෙදර් ගුඞ්ස් යන ආයතනයන්යන් ඉල්ලුම්කරුවන් ලෙස ඉදිරිපත් වී ඇත. මේ ආයතන අතුරින් සැපයුම්කරු ලෙස ජයග්‍රහනය කර ඇත්තේ සිලෝන් ලෙදර් ගුඞ්ස් නැමති තනි පුද්ගල ව්‍යාපාරයයි. එසේ මේ පිළිබඳව විගණන විමසුම සඳහන් කරන්නේ මිළ කැඳවීම් වඩාත් තරඟකාරී නොවීම හරහා මේම ප්‍රසම්පාදනයෙන් (ටෙන්ඩරයෙන්) අර්ථික වාසි අධිකාරියට අහිමි වී අති බවයි.

විගණන විමසුම හරහා හෙළි වන්නේ බෙදා දුන් පාවහන් බාල පාවහන් බවයි. එසේම මෙම පාවහන් ගුණාත්මක බව සඳහන් කරමින් අල්ලස් කොමිසමෙන් මේ සම්බන්ධව පැවති පරීක්ෂණයකදී වංචාවට සම්බන්ධ නිළධාරීන් විසින් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සම්භාණ්ඩ හා පාවහන් සංවර්ධන මධ්‍යස්ථානයෙන් ලබා ගත් සහතිකයක් ඉදිරිපත් කර ඇත. කෙසේ වෙතත් පසුව හෙළිවන්නේ එම සහතිකය සැපයුම්කරු විසින් ඉදිරිපත් කළ එකක් වන බවයි. කෙසේ වෙතත් විගණකයන් විසින් තාක්ෂණ කමිටුවේ සභාපතිවරයා පැළඳ සිටි සපත්තුවම ලංකා කාර්මික සංවර්ධන මණඩලයේ සම්භාණ්ඩ සහ පාවහන් සංවර්ධන මධ්‍යස්ථානයට ගෙනගොස් පරීක්ෂා කරන විට තහවුරු වී ඇත්තේ එම පාවහන් සියයට සියයක් ස්භාවික සමින් නිපදවනවා වෙනුවට ඉතාම ක්ෂූක්ෂම ලෙස සපත්තුවේ උඩුකර කොටස හා ලයිනින් එක අතර මිලි මීටර එකක ලෙයර් එකක් එක් කර නිපදවා ඇති බවයි.

කෙසේ වෙතත් මෙම ගනුදෙනුව සිදුකර ඇත්ත National Shopping නම් ක්‍රමවේදය යටතේය. ඒ ක්‍රමවේදයට අනුව ඉහළ තරඟකාරීත්වයක් ඇහි කිරීම සඳහා ලියා පදිංචි සැපයුම්කරුවන්ට අමතරව අවශ්‍ය නම් යෙලෝ පේපර්ස් හෝ රේන්බෝ පේජස් යන දෙකෙහි සිටින සැපයුම්කරුවන් තෝරාගත හැකිය. ඒ අනුව තෝරා ගන්නා සැපයුම්කරුවා වෙත ප්‍රසම්පාදන කමිටුව විසින් ලියාපදිංචි තැපෑලෙන් ලංසු තැබීමේ ලේඛන යැවිය යුතුය. එහෙත් මෙම ටෙන්ඩරය ජයග්‍රහනය කළ සැපයුම්කරුට එවැනි විධිමත් ක්‍රමවේදයක් හරහා ලංසු තැබීමට ආරාධනාවක් කර නැත. එහෙත් ඔහු ලංසු තැබීමට ඉදිරිපත් වී ඇත.

විධිමත් ලෙස සැපයුම්කරුවෙකු ලෙස හෝ යෙලෝ පේජස් හෝ රේබෝ පේජස් හි ලියා පදිංචි වී නොමැති සැපයුම්කරුවෙකුට ටෙන්ඩරය ලබා දීමම බරපතළ ලෙස ප්‍රසම්පාදන නීතීන් උල්ලංගනය කිරීමකි. මේ සම්බන්ධව ප්‍රසම්පාදන කමිටුවේ පිළිතුර වී ඇත්තේ සැපයුම්කරු කෙසේ හෝ මේ පිළිබඳව දැනගෙන ලංසු ලේකන රැගෙන ගිය බවයි. එය විහිලු සහගත පිළිතුරකි. ප්‍රසම්පාදන කමිටුව එසේ ලියා පදිංචි නොවූ සැපයුම්කරුවෙකුට ලංසු ලේඛන ලබා දීම බරපතළ වරදකි. එසේම කිසියම් ආකාරයකට ලියා පදිංචි නොවූ සැපයුම්කරුවෙකු විසින් ලංසු ඉදිරිපත්කර තිබුණේ නම් තාක්ෂණ කමිටුව විසින් ඇගයීමේ ක්‍රියාවලියේදී එම ඉල්ලුම්පත් ඇගයීමට භාජනය නොකර ඉවත්කළ යුතුය. එහෙත් එහිදී එයද සිදුවී තිබුණේ නැත.

දැනගන්නට ලැබෙන කාරණා වලට අනුව එසේ සිදුව නැත්තේ සිලෝන් ලෙදර් ගුඞ්ස් නැමති සැපයුම්කරු හඳුන්වාදීම සිදුකර ඇත්තේ අධිවේගීමාර්ග කටුනායක කාර්යාලයේ නිළධාරියකු වීම හේතුවෙනි.

අප මේ සම්බන්ධව තාක්ෂණික කමිටු සාමාජික ධම්මික රාජපක්ෂ සහ එම කමිටුවේ සභාපති තුෂාර ධර්මසිරි යන අය ඇමතු විට ඔවුන් සඳහන් කළේ මෙම පාවහන් තත්ත්වයෙන් බාල බව ඔවුන් ප්‍රසම්පාදන කමිටුවට සඳහන් කළ නමුදු ප්‍රසම්පාදන කමිටුව විසින් පාවහන් මිළදී ගැනීමට කටයුතු කළ බවයි. කෙසේ වෙතත් ප්‍රසම්පාහන කමිටුවේ සභාපතිවරයා වන්නේ මෙම අංශයේ අධ්‍යක්ෂක ඕපනායකය.

වරද

දැනට හෙළිවී ඇති තොරතුරු වලට අනුව මෙම සැපයුම්කරුගෙන් පාවහන් මිළදී ගන්නා ලෙස සහ ඔහු මේ සඳහා සුදුසු බවට නිර්දේශ කර ඇත්තේ මෙම තාක්ෂණික කමිටුව වන අතර මේ ගනුදෙනුව පිළිබඳව අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවේ පරීක්ෂණ සඳහා ව්‍යාජ ප්‍රමිති සහතිකයක් ඉදිරිපත් කර ඇත්තේද ප්‍රසම්පාදන ඉංජිනේරු සඳමාලි සහ තාක්ෂණ කමිටුවයි. එසේම බලෙන් සපත්තු බෙදීම සඳහාද ඔවුන් මැදිහත් වූ බව සේවකයන් පවසයි. එසේම මෙම පාවහන් තත්වවෙන් බාල බව ඔවුන් පිළිගෙන ඇත්තේ මෙම පාවහන් තත්වයෙන් බාලබව ප්‍රසිද්ධ වූවාට පසුවය. එසෙම මේ අවස්ථාවේ මොවුන් කරන්නේ අධ්‍යක්ෂක සමඟ සියලුදෙනාම කළ හොරකම අධ්‍යක්ෂකගේ ඇඟේ ගසා මාරුවීමටය. මෙය මොවුන් තත්ත්වයෙන් බාල භාණ්ඩ මිළදී ගත් පළමු අවස්ථාව නොවන බවත් මීට පෙර පවා තත්ත්වයෙන් බාල පාවහන් සහ නිළ ඇඳුම් සේවකයන්ට බෙදා දුන් බවත් සේවකයන් අප සමඟ පැවසීය.

අප මේ සම්බන්ධව ප්‍රසම්පාද ඉංජිනේරු සඳමාලිගෙන් කළ විමසීමකදී ඇය ප්‍රකාශ කළේ ඇයට මේ සමබන්ධව අධ්‍යක්ෂකවරයාගේ නිර්දේශයක් නොමැතිව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි. කෙසේ වෙතත් අප මේ සම්බන්ධව විමසීමට සති දෙකක් තිස්සේ අධිවේගී මාර්ග මෙහෙයුම් හා කළමනාකරණ අධ්‍යක්ෂක ඕපනායක 077 0707976 යන අංකයෙන් සති දෙකක් තිස්සේ උත්සාහ කළද ඔහු මේ සම්බන්ධව කිසිදු පිළිතුරක් ලබා දුන්නේ නැත.

 

Leave a comment

This website uses cookies to improve your web experience.